තැපැල් ඡන්ද විමසීම සිදුකළ පළමු දිනය වූ ඊයේ (23දා) දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේ කටයුතු රජයේ හා පෞද්ගලික රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශය කිරීමෙන් ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිදුව ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) ඊයේ (23දා) සඳහන් කළේය.
මේ එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරමින් නාළිකා සියල්ලේ සජීවී විකාශයන් නවතා දැමීමට හෝ ඡන්ද විමසීම වෙනත් දිනයකට කල් දමන ලෙසට ඉල්ලා සිටි බවයි.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළකළ දැක්වූ ඒ මහතා,
'ලක්ෂ 05 කට වැඩි පිරිසක් තමන්ගෙ ඡන්දය ප්‍රකාශ කරන මොහොතක මෙවන් බලපෑම්කාරී ක්‍රියාවක් ලංකා ඉතිහාසයේ කිසිදු දවසක සිදුවෙලා නැහැ. තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයේදී මුදල් ගෙවා හෝ නොගෙවා විද්‍යුත් නාළිකා සියල්ල එකතු කරමින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළාට ඔහු මේ සම්බන්ධව පියවරක් ගත්තෙ නැහැ. මැතිවරණ කොමසාරිස්වරයා ලබාදී තිබෙන සියලු නියෝග උපමාන, නිර්දේශ, උල්ලංඝනය කර ප්‍රේක්ෂකයන් ලක්ෂ 13 කට වඩා ඉලක්ක කරගෙන මේ විකාශය සිදුකළේ. ඡන්ද දායකයන් ලක්ෂ 05 කට වඩා ඡන්දය ප්‍රකාශ කරද්දී ඒ විදියට කටයුතු කරමින් යන්නෙ මොනවගේ රටකද කියලා අපට හිතාගන්න බැහැ.' යැයි වැඩිදුරටත් පවසා සිටියේය.
ඊයේ තැපැල් ඡන්දය විමසන අවස්ථාවේදී මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල පිහිටි රජයේ ගොඩනැගිලිවල තිබූ ඡන්ද මධ්‍යස්ථාන අභ්‍යන්තරයේ සහ ඒ ආසන්නයේ මාර්ගවල නීතිවිරෝධී ප්රචාරක කටයුතු විශාල වශයෙන් සිදුවූ බවද තෙන්කෝන් මහතා මෙහිදී පැවසීය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 459 ක් ලැබී ඇති බවත්, ඉන් 42 ක් ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවත්, 417 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ගිනිඅවි භාවිත කළ අවස්ථා 16 ක් තිබෙන බවද ඔහු කීය. මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 දෙනෙකු පමණක් බවද, ඔවුන්ද පැය 06 කට වඩා පොලිස් ස්ථානවල රඳවාගෙන නැති බවද කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 2005 හා 2010 ජනාධිපතිවරණ හා සැසඳීමේදී ඉතාමත් කෙටි කාලයක් තුළ ප්රචණ්ඩත්වයේ හා සාහසිකත්වයේ පරිමාව ඉහළ ගිය මැතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවයි.