පසුගිය කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහත් භීතියක් ඇති කළ ‘ආවා' කල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ හිටපු කොටි සාමාජිකයෙකු වන ‘සන්නා' නමැත්තා බව ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියට දැනුම් දුන්හ. ‘ආවා' කල්ලියට ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ලැබී ඇති බවද දැනුම්දුන් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීහු ‘ආවා' කල්ලියේ ප්‍රධානියා වූ ‘සන්නා' නමැත්තාද ඇතුළු එම කල්ලියේ සාමාජිකයන් එකොළොස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළහ.
සැකකරුවන් ඉදිරිපත් කරමින් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළාය.‘ආවා' කල්ලියට සම්බන්ධ බව කියමින් මීට පෙර අවස්ථාවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම මීට පෙර අවස්ථාවලදී රිමාන්ඩ් භාරයට පත් කොට තිබිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ බවත්, එම පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව යාපනය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවත් දැනුම් දුන්හ.
මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධියේ තවත් සැකකරුවන් පිරිසක් මේ වනවිටත් රිමාන්ඩ් භාරයට පත් කොට ඇති බව දැනුම් දුන්හ.
එම කරුණු පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය 30 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස පොලීසියට නියම කළාය.