ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණු ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපියක් ඉන්දියාවේ මාධ්‍යවල දැඩි අවධානයට ලක් වීමෙන් පසු, එම ලිපිය වහාම ගලවා ඉවත්කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී ඇත්තේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස් දෙන ඉංග්‍රීසි වැකියක් බවද බී.බී.සී.ය කියයි.
එම ලිපිය ගලවා දැමීමට පියවර ගැනීමේ පසුබිම ගැන බී.බී.සී.ය කළ විමසීමකදී ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, රාජකාරියේ නිරතව සිටි වෙබ් අඩවි ක්‍රියා කරවන්නෙකු විසින් කිසිසේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපිය ඡායාරූපයක්ද සහිතව පළ කොට තිබුණු බව පවසා ඇති බවයි.
ඒ බව දැනගත් වහාම අදාළ ලිපිය වෙබ් අඩවියෙන් ඉවත් කොට ඉන්දියාවේ අගමැතිවරයාගෙන් සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් පළ කිරීමට කටයුතු කළ බවද හෙතෙම පවසා සිටි බව බී.බී.සී.ය කියයි.
මතභේදයට ලක් වූ ලිපිය පළ කරන ලද පුද්ගලයන් කුමන හේතුවක් මත එය කළා දැයි තවමත් හෙළි වී නැති නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නැවත මෙවැනි දෙයක් සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව බී.බී.සී.ය කියයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූවාදැයි යනුවෙන් ඇසූ විට, දැනට එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව තමන් විශ්වාස කරන බවත්, සමාව ගැනීමේ ප්‍රකාශය පළ කිරීම මගින් මෙය අත් වැරදීමක් බව ඉන්දියාවට පැහැදිලි වනු ඇති බවත් පැවසූ බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම දෙරට අතර දෙපාර්ශ්වීය සම්බන්දතාවලට කිසිදු බලපෑමක් ඇති නොකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටි බව බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.