දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී වෙන්ව ගොස් තිබෙන අයුරු දැක කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා මගීන් විශාල පිරිසක් සමග ධාවනයවූ යාල්දේවී ශීඝ්රගාමී දුම්රිය නවතන ලෙස සංඥාකර සිදුවීමට ගිය මහා විනාශයක් වලකාලීමට තඹුත්තේගම පදිංචි ආබාධිත දෙදරු පියෙකුට ඊයේ (14දා) සවස හැකිවී තිබේ.
සිදුවීමට තිබූ අනතුර වළක්වාලූයේ, විදේශයකදී සිදුවූ දරුණු අනතුරකින් බරපතළ තුවාල ලබා ඇසක් අහිමිව සිටින වැවවාන තඹුත්තේගම ලිපිනයේ පදිංචි එස්.ඩබ්ලිව්. විජිත (44) මහතා විසිනි.
විජිත මහතා පෙරේදා (14දා) සවස 3.25ට පමණ පසළොස්වක පොහෝය නිමිත්තෙන් විහාර ස්ථානයේ සිල් සමාදන්වී සිටින උවැසි උවැසියන්ට ගිලන්පස රැගෙන යාමට උතුරු දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දී උතුරු දුම්රිය මාර්ගයේ අංක 10 බැදිවැව ගම්මානය ආසන්නයෙන් (තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර) රේල් පීල්ලක අඩි තුනක පමණ ප්රමාණයක් කැඩී වෙන්ව තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට වහාම දන්වා තිබේ.
එම දැන්වීමකර විනාඩි කිහිපයක් ගතවෙද්දී මගින් සහිත දුම්රිය තඹුත්තේගම සිට සෙනරතගම දෙසට වේගයෙන් ධාවනය වන හඬ ඇසුණු ආබාධිත දෙදරු පියා වහාම නිවසට දිව ගොස් රතු පැහැති ටීෂර්ටයක් රැගෙනවිත් දුම්රිය මගේ අනතුරක් ඇතිබව කියමින් වහාම දුම්රිය නවතන ලෙස රියදුරුට දැන්වීය. දුම්රිය මගේ අනතුරක් ඇතිබව දැනගත් දුම්රිය රියදුරු හා නියාමකවරුන් වහාම දුම්රිය තිරිංග පද්ධතිය ක්රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.
දුම්රිය නැවතු රියදුරු ඇතුළු නිලධාරීන් දුම්රියෙන් බැස මාර්ගය පරීක්ෂාවට ලක්කරද්දී දුම්රිය පීල්ලක් කැඩිගොස් තිබෙන අයුරු දැක තිබේ. විජිත මහතා අනතුර දැක නුවණින් යුතුව කටයුතු නොකළේ නම් දුම්රිය පිලිපැන මහා විනාශයක් සිදුවීමට ඉඩතිබූ බව දුම්රිය නිලධාරීහු පැවසූහ.
මාර්ගය කැඩියාම දුම්රිය පාලක මැදිරියට දැන්වීමෙන් අනතුරුව නඩත්තු ඒකකය වහාම එහි ගොස් දුම්රිය මග ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබූ අතර ඒ හේතුවෙන් ඊයේ (14දා) සවස පැයකට වැඩි කාලයක් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.