මෙම වසරේ ජූලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 17,000 ක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවා ලංකා සතොස අලෙවි සැල් මගින් හා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ජංගම අලෙවි රථ මගින් ලංකාව පුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉතිරි නාඩු සහල් මෙට්‍රික් ටොන් 53,000 නොවැම්බර් දෙවැනි සතිය වනවිට ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇති අතර, මෙසේ ආනයනය කළ නාඩු සහල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 74කට ලංකා සතොස හා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ජංගම අලෙවි රථ මගින්පාරිභෝගිකයන්ට ලබාගතහැකි බවත් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙට්‍රික් ටොන් 30,000 ද නොවැම්බර් මාසය අවසන් වීමට පෙර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්,ළඟ එන උත්සව සමයට හිඟයකින් තොරව අඩුම මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව ලැබෙන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.