වර්තමානයේ ජනවරම පවතින්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂය වටා බවත්, ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙනඑන අය එම යෝජනා ගෙනඑන්නේ ජනවරමට විරුද්ධව බවත් පාර්ලිමේන්තු සභානායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
වැවිලි සංස්ථාවට අයත් බී.සී.සී. ආයතනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම හා සේවකයින් සඳහා රක්ෂණ ආවරණයක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (26දා) මේ බව කී අමාතයවරයා, ආණ්ඩුවට සම්බන්ධ වූ අය විපක්ෂයට ගොස් මාධ්‍ය සාකච්ඡා පවත්වන බවත්, ආණ්ඩුවෙන් කවුරුන් ඉවත්වුවත්, කවුරුන් ආණ්ඩුවට එක්වුවත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් එක්සත් ජාතික පක්ෂය ලබන බවත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද රැල්ල තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකටයි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න එක්සත් ජාතික පක්ෂය දිවිහිමියෙන් කැපවුණා. අද ජනාධිපතිවරයාව අයින් කරගන්න විපක්ෂය දැඟලුවාට එය ජනතාව පිළිගන්නේ නැහැ* යැයිද සඳහන් කළේය.
මෙරට සෑම රාජ්‍ය ආයතනයකටම විනය හා සේවයට කැපවීමේ තත්ත්වය අඩු වී ඇති බවත්, එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා වර්තමානයේ ආණ්ඩුවට පවතින විශාලතම ගැටලුව බවට පත්වී ඇත්තේ බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලැබීම බවද කියා සිටියේය.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු යුරෝපීය ආයෝජකයන් රැසක් මෙන්ම විදේශගත ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ද උතුරු ප්‍ර‘දේශයේ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.