ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධව ලබන 30, 31 හා නොවැම්බර් 01 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබීම නිෂ්ඵල කාර්යයක් බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසීය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා,
“ මෙය විශාල මුදලක් සහ පාර්ලිමේන්තුවේ දින තුනක් නිරපරාදේ හැරීමක්. ව්‍යවස්ථා සම්පාදක සභාවක් ලෙස පැවැත්වෙන මෙම විවාදයට ඒකාබද්ධ විපක්ෂය සහභාගි වුවද කිසිදු ඵල ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ.
අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට වඩා කළ යුත්තේ තිබෙන ව්‍යවස්ථාව හැකි අයුරින් සංශෝධනය කරමින් ඉදිරියට යෑමයි. ආණ්ඩුවේ ව්‍යවස්ථා ක්‍රියාවලියට මේ වනවිට නිරපරාදේ විශාල මුදලක් වැය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දවස් තුනක් කාලය කන්නයි, මුදල් කන්නයි මේ හදන්නේ. මොකද්ද ඕකෙන් ඇති වැඩේ? අපි අපේ ස්ථාවරය කියනවා. අරයා එයාගේ ස්ථාවරය කියනවා. අනිත් අය ඒ අයගේ ස්ථාවරය කියනවා.කවුරුවත් අනිත් එක්කෙනාගේ ස්ථාවරය පිළිගන්නේ නැහැ. අන්තිමේදී විසිරිලා යනවා. මොකද්ද ඇති වැඩේ? මහජනයාගේ මුදල් ,අපේ කාලය නාස්ති වෙනවා.
අපිත් විවාදයට යනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් හැටියට වාඩිවෙනවා කිව්වාම අපිත් යනවා. පාර්ලිමේන්තුව තමයි අපේ මුදුන් මල්කඩ. ඒක අපි වැසිකිළියක් කරගන්න නරකයි. වැරදි රීතිවලට බැහැලා ,ව්‍යවස්ථා සම්ප්‍රදායන් කඩලා, ප්රජාතන්ත්රවාදී මූලික සිද්ධාන්ත පරාජය කරලා පත්කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ විශාල ආරවුල් තත්ත්වයක් මතු වෙනවා. කොහොමහරි පාර්ලිමේන්තුව බේරගන්න ඕන.
ඒක නව මැතිවරණයකින් අපි කරන්නේ. පාර්ලිමේන්තුවේ ලොකුම වරද තියෙන්නේ ජනවරමට පිටුපාලා ඒ පැත්තට ගිය හතළිස් ගාණකගේ ප්රශ්නය. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුළ අපි සුලුතරයක්. අනිත් අය බහුතරයක් ඉන්නවා. අපි විවාද කරමින්, අපේ ස්ථාවරයන් කියමින්, විවේචන ඉදිරිපත් කරමින් යම් යම් දේවල් වෙනස් කරගනීමට පුලුවන් තරම් බලනවා.“යනුවෙන් පවසා සිටියේය.