ආගමි හා ජාතීන් නියෝජනය කරමින් ලියාපදිංචි කර ඇති සියලු දේශපාලන පක්ෂ තහනම් කළයුතු බව සියලු ආගම්වලින් සමන්විත %ආගමික සමුළුව^ සංවිධානය ඊයේ (05දා) අවධාරණය කළේය.
රට තුළ සාමකාමී පරිසරයක්
පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් එවැනි පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට අවශ්‍ය කරන නීතිරීති පැනවිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන්, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉහත අදහස් ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් සඳහන් කළේ කිසිම කලෙක දකින්නට නොලැබෙන ආකාරයේ සාමකාමී බවක් මෙම මැතිවරණ කාලසීමාවේදී දක්නට ලැබෙන බවයි. සුපුරුදු පරිදි පොදු ජනතාවට තමන්ගේ දෛනික කටයුතුවල යෙදී සිටීමට අවශ්‍ය කරන පරිසරයක් සකස් කළ මැතිවරණ කොමසාරිස්වරයාට ආශිර්වාද කරන බවද උන්වහන්සේ කීහ.
යළිත් මේ රට තුළ ජාතිවාදය ඇති නොකරන්නැයි දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද කී ධම්මාලංකාර හිමියෝ ජාතීන් හා ආගම් පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කිරීමටත්, එවැනි පක්ෂ යළි ලියාපදිංචි නොකිරීමට අවශ්‍ය නීති ගෙනඒමටත් බලධාරීන් කටයුතු කළ යුතු යැයිද අවධාරණය කළහ.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කළේ ජාතිය, ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ පැවතීමෙන් රට බෙදෙනවා මිස සංවර්ධනයක් සිදුනොවන බවයි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් පදනම් කරගත් දේශපාලන පක්ෂ තිබුණද ක්‍රිස්තියානි ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂයක් තවමත් බිහි වී නැති බවත්, එවැනි පක්ෂ බිහිකර ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තමන් වහන්සේ ඉඩ නොතබන බවත් සඳහන් කළ අගරදගරුතුමා ආගම් නාමයෙන් පවතින දේශපාලන පක්ෂවලට ඡන්දය දීමෙන් සිදුවන්නේ රටට ද්‍රෝහී වීම පමණක් යැයිද කීහ.
මෙහිදී අදහස් පලකළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රකාශ කළේ නිවැරදි පුද්ගලයන්ට අපේක්ෂත්වය ලබාදෙන බවට මාර්තු 12 ප්රකාශනයට අත්සන් කළ බොහෝ පක්ෂ නායකයන් එම පොරොන්දුව කඩකර ඇති බවයි.
මහ මැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තු දෙස බැලීමේදී ඒ බව පැහැදිලි වන බවද කී උන්වහන්සේ ආගමික නායකයන්ගේ විරෝධය ඒ සම්බන්ධයෙන් පළ වී තිබෙන බවද කියා සිටියහ.
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ඈෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක් මහතාද මෙහිදී අදහස් පළකළේය.