ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට සැතපුම් 62 ක් පමණ ඔබ්බෙන් පිහිටි සාගර කලාපය වෙත කඩා වැටීමට නියමිත ආකාශ වස්තුව තවත් පැයක පමණ කාලයකදී (පෙරවරු 11.59ට පමණ) පෘථිවි වායුගෝලය වෙත ඇතුළු වෙනු ඇතැයි නාසා ආයතනය ඇතුළු ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. එහෙත් මෙම කාලය නියමිත කාලය නොවන බවත් බොහෝ විට මෙම කාලය යම් කාලසීමාවකින් වෙනස් වීමේ හැකියාවක් ඇතැයිද ඔවුහු අදහස් පළ කරති.
WT1109F ලෙසින් නම් කර ඇති මේ ආකාශ වස්තුව ඇතැම් විට ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ මෙහෙයුමක් සඳහා යොදා ගෙන පසුව අත්හැර දැමුණු රොකට්ටුවක කොටසක් බව සඳහන් වෙයි.
අඩි 07 ක් පමණ විශාලත්වයෙන් යුත් මෙම ආකාශ වස්තුවේ සැබෑ ස්කන්ධය මෙතෙක් ගණනය කෙරී නැති අතර, එය වායුගෝලයට ඇතුළු වුණු මොහොතේදීම ගිණිගැනීමකට ලක් වෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසා සිටිති. එහිදී යම් දිලියුමක් ඇති වෙන බවත් සඳහන් වෙයි. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික තත්ත්වය එහි උසස් දර්ශනයක් සඳහා යම් බාධාවක් ඇති කිරීමේ හැකියාවක් පවතියි.
එසේම එය තත්පරයට කිලෝමීටර් 11 ක වේගයෙන් පෘථිවිය කරා ඇදී එයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගර කලාපයට පතිත වෙනු ඇත්තේ එම වස්තුවෙන් යම් කොටසක් බවද අදහස වී තිබේ. මේ හේතුවෙන් ඉන් දරුණු මට්ටමක හානියක් සිදු නොවනු ඇති බවත් වාර්තා පළ වී තිබේ. මීට අමතරව සුළගේ බලපෑම අනුවද එම කොටස් ගමන් කරන දිශාව වෙනස් විය හැකිය.
කෙසේ වෙතත් මෙම WT1109F ආකාශ වස්තුව කඩා වැටීමෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව අවධානයෙන් පසුවන බවත් මෙරට බලධාරීන් සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී එම මුහුදු කලාපය තුළ ධීවර කටයුතු තහනම් කර ඇති අතර පෙරවරු 11 සිට 01 දක්වා ගුවන් කලාපය ගුවන් ගමන් මුක්ත කලාපයක් බවට පත්කර ඇත.
මේ අතරම WT1109F ආකාශ වස්තුව වායුගෝලය හා ගැටෙන අවස්ථාව සජීවීව පටිගත කර ගැනීම සඳහා ජාත්‍යන්තර දුරේක්ෂ කිහිපයක්ම සූදානමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ග්‍රහලෝකාගාරයද විදේශීය විශේෂඥයන් කිහිප දෙනෙකුද සම්බන්ධ කරගනිමින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි ආකාශ වස්තු කොටස් පෘථිවිය වෙත පතිත වීම නිරන්තරයෙන්ම සිදුවුවත්, මේ ආකාරයට දින වකවානු සහ කාල වකවානු නිවැරදිව පවසමින් ආකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවස්ථාවක් නිරීක්ෂණය කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
භානුක අමරසිංහ