ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට කඩාවැටීමට නියමිතව ඇති බව කියන WT1190F නම් ආකාශ වස්තු කොටස හෙට (13දා) පෙරවරුවේදී පෘථිවි වායුගෝලය හා ගැටෙනු ඇතැයි නාසා ආයතනය උපුටා දැක්වූ විදෙස් මාධ්‍ය ඊයේ (11දා) අනාවරණය කළේය.
ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු 11.49 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළේ සිට සැතපුම් 62 ක් ඔබ්බෙන් මෙම කොටස සාගරයට කඩාවැටීමට නියමිතය.
කෙසේ වෙතත් එම අවස්ථාවේ පවතින සුළඟේ වේගය සහ වායුගෝලීය තත්ත්වය අනුව එම ස්ථානය සුළු වශයෙන් වෙනස් වීමේ ඉඩක් ඇති බවද ඒ පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතරම මෙම WT1190F ආකාශ වස්තුව පිළිබඳ දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කිරීමටද ජාත්‍යන්තර අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනයක් කටයුතු යොදා ඇතැයි වාර්තා සඳහන් කරයි. ඒ අනුව අභ්‍යවකාශ නිරීක්ෂණයේ නිරත Slooh නම් රොබෝ දුරේක්ෂක ජාලය ආධාරයෙන් ලබාගන්නා අදාළ දර්ශන www.slooh.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කිරිමට නියමිතය.
අඩි 07 ක පමණ විශාලත්වයකින් යුත් මෙම ආකාශ වස්තු කොටස 1960 - 70 දශකයේදී ඇමෙරිකාවේ නාසා ආයතනය සිදුකළ ඇපලෝ මෙහෙයුමකදී අභ්‍යවකාශගත කළ රොකට්ටුවකට අයත් වූවක් බවට විශ්වාස කෙරේ. ඒ අනුව එම කොටස ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.49 ට පමණ පෘථිවියට කඩාවැටීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එය පෘථිවි වායුගෝලය වෙත ඇතුළුවීමේදී ගිනිගෙන විනාශ වීමේ හැකියාවක් ඇතැයිද නාසා ආයතනය සඳහන් කරයි. එහිදී එය විශාල දිලිසුමක් පෙන්වනු ඇති බවත්, දිවා කාලයේදී මේ සිදුවීම හටගන්නා නිසා එහි එතරම් දීප්තියක් දැකගත නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරති. මේ අනුව අවසානයේදී පෘථිවිය හා ගැටෙන්නේ කුඩා ප්‍රමාණයක ආකාශ වස්තු කොටසක් වනු ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
එහෙත් පෘථිවිය වෙත කඩාවැටෙන ග්‍රාහකයක දින වකවානු පිළිබඳව නිවැරදිව අනාවැකි පළකිරීමට හැකි වූ අභ්‍යවකාශ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මෙම අවස්ථාව නිරීක්ෂණය සහ ඒ පිළිබඳව අවධානයෙන් සිටීමද අතිශය වැදගත් බව ඔවුන්ගේ අදහසයි. දැනටමත් එම කාලසීමාව තුළ මුහුදු ගමන්වල යෙදීම හෝ ධීවර කටයුතුවල යෙදීම සුදුසු නොවන බවටද අභ්‍යවකාශ විශේෂඥයන් මෙන්ම ශ්‍රී ලංකා බලධාරීන්ද අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් මින් සිදුවන හානිය අවම බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.
මෙම ආකාශ වස්තු කඩාවැටීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකරන බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයනාංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා, මොනයම් අයුරකින් හෝ මේ සිද්ධිය වීඩියෝගත කරගැනීමේ හැකියාවක් ලැබුණහොත් එය ලෝකයාට අතිශය වැදගත් බව කියා සිටියේය. එසේම මෙම කඩාවැටෙන කොටසේ කැබැල්ලක් සොයාගැනීමට හැකියාව ලැබුණහොත් එය ඉදිරි පරීක්ෂණ කටයුතුවලටද අතිශය වැදගත් බව ඒ මහතාගේ අදහස වී තිබේ. මීට අමතරව 1979 වසරේදීත් ශ්‍රී ලංකාවාසීන් මෙවැනි ආකාරයෙන්ම අභ්‍යවකාශ කොටස් කඩාවැටීමේ සිදුවීමකින් භීතියට පත්වූ බව මතක් කර දෙන චන්ද්‍රා වික්‍රමසිංහ මහතා, පසුව එම කොටස ඔස්ට්‍රේලියානු මුහුදු තීරයට කඩා වැටුණු බවද පවසා සිටියි.
භානුක අමරසිංහ