අස්ගිරි මහානායක මහ නායක පුජ්‍ය ගලගම අත්තදස්සි මහනාහිමියෝ මියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව අස්ගිරි මහා විහාර ආරංචිමාර්ග පැවසීය.
අද පස්වරුවේ හදිසි අනතුරකට ලක්ව උන්වහන්සේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලක් කළහ. හදිසි අනතරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අභාවප්‍රාප්ත වුහ. අස්ගිරි මාහිමියන්ගේ වයස 95 ක් වේ
ඓතිහාසික මාතලේ ජනපදයේ අස්ගිරි පල්ලේසියපත්තුවේ ගලගම නම් වූ නයනාභි රමණීය ග්‍රාමවරයෙහි රා.ව 1922 දී කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බංඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචිඅම්මා කුමාරිහාමි යන සිල්වත් ගුණවත් දම්තීන්ට දාව උපත ලැබූහ. නමින් කිරිබංඩාර නම් වූ මෙම කුලදරුවා යටවත්ත වීරපරාක්රම මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දසසතර වන විය දක්වා මාපිය සෙනෙහසේ සුව සැපය විඳිමින් හැඳුනේය, වැඩුනේය.
අනතුරුව රා.ව 1936 ගමේ පන්සල වූ උරුලෑවත්තේ පුරාණ විහාරයෙහි එවකට විහාරාධිපතිව වැඩවිසූ සිල්වත් ගුණවත් අතිපූජ්‍ය උඩුරාවණ ශ්‍රී ධම්මානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආචාරීත්වයෙන් උතුම් පැවිදි බිමට පත්වූහ. ගලගම අත්ථදස්සි සාමණේරයන් වහන්සේ නමින් පැවිදිබව ලැබූ සඟපරපුර, අතිසම්භාවනීය සඟ පරපුරකි. අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක අතිගෞරවාර්හ උරුලෑවත්තේ ශ්‍රී පියදස්සි ධම්මදස්සි මහානායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන එම සඟ පරපුර මේ වන විට මහානායක පදවි නමයකින්ද, අනුනායක පදවි නමයකින්ද, සමන්විත වීම මහත් වූ විරල සිදුවීමක් වන්නේය.
අතිගෞරවාර්හ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්යාභිධයන මහානායක මාහිමිපාණන් වහන්සේ රා.ව 1937 – 1947 දක්වා මාතලේ ධර්මරාජ මහපිරිවෙනින් පැවිදි බණදහම් හා පාලි, සංස්කෘත, දෙමළ ආදී භාෂා ශාස්ත්‍ර මැනවින් උගත්හ. ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පරීක්ෂණ සියල්ලම උසස් ලෙස සමත් වූහ. විද්‍යෝදය පිරිවෙනින් ත්‍රිපිටක ධර්ම පරීක්ෂණය ඉහලින් සමත්ව, සද්ධර්මාචාර්ය උපාධිය ලබා මජ්ඣිමභානක උපාධියද දිනාගත්හ.
නිසි බණදහම් උගෙන විසිවයස් සපිරූ කල, ගරු ගලගම අත්ථදස්සි සාමණේරයන් වහන්සේ 1942 මැයි මස වෙසක් දින අස්ගිරි මංගල උපෝසථාගාරයේදී ගරුතර උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ආචාර්ය කොට අස්ගිරි මහා වාරයේ වැඩසිටි අති ගෞරවාර්හ මුල්ලේගම ශ්‍රී ගුණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ගරුතර උරුලෑවත්තේ ගුණරතන හා ගරුතර ගම්මුලුලේ චන්දජෝති හිමිවරුන්ගේ කර්මාචාරිත්වයෙන් අධිශීල සංඛ්‍යාත අපසම්පදාව ලැබූහ. පියවරෙන් පියවරට විවිධ සාසනික පදවි ලැබූ අප මහනාහිමිපානන් වහන්සේ රාජ්‍ය වර්ෂ 1999 දෙසැම්බර් මස 13 වන දින අතිපූජ්‍ය අනුනායක පදවියට පත්විණි.
ඓමෙන්ම අතිගෞරවාර්හ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ ගලගම ශ්‍රී අත්තදස්සී අනුනායක මාහිමිපාණන් වහන්සේ රාජ්‍ය වර්ෂ 2015 වැන්නේ මැයි මස අටවන දින අති ගෞරවාර්හ මහානායක පදවියට පත්විණි.
අපවත්වී වදාළ අස්ගිරි මහානාහිමියන්ට නිවන්සුව පතමු