මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කරන අවම දඩ මුදල වන රුපියල් 2500/-ක මුදල නිෂ්චිත වැරදි කිහිපයකට පමණයක් අය කිරීමට කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී තිබේ. බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව රථවාහන ධාවනය, අධික වේගය වැනි ප්‍රධාන වරදවල් කිහිපයක් වෙනුවෙන් මෙම දඩ මුදල් අය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද 'අද'ට වාර්තාවේ.
මේ අතර අවම දඩ මුදල වහාම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා බස් හිමියන්ගේ සංගම් බස් වර්ජනයකට ද පෙරෙයිදා (14දා) සූදානම් වූ අතර මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එය තාවකාලිකව අත්හිටවුනු ලැබිණි. එම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ අවම දඩ මුදල පිළිබඳව අර්බුදය මාධ්‍ය විසින් ඇතිකරන ලද්දක් බවත් ඒනිසා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඊයේ (15දා) බස් හිමියන් සමග යළි සාකච්ඡාවක් පවත්වන බවය.
එහෙත් ඊයේ රාත්‍රී අදාළ සාකච්ඡාව නොපැවැත්වුණු අතර එම සාකච්ඡාන ලබන සඳුදා (21දා) පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය හා බස් සංගම් එකඟතාවකට පැමිණ තිබේ.අදාළ සාකච්ඡාවට පොලිස්පතිවරයා හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොල්ස්පතිවරයාද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා බස් සංගම් නියෝජිතයෝද සහභාගීවීමට නියමිතය.
කෙසේ වෙතත් රථවාහන දඩ මුදල් පිළිබඳව දෙවැනි සාකච්ඡාව ලබන සඳුදා දිනයේ දී පැවැත්වීමට නියමිත නිසා තමන් සූදානම් වූ බස් වර්ජනය එතෙක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා 'අද' පුවත්පත කළ විමසීමකදී සඳහන් කළේය.
එමෙන්ම බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව ධාවනය, අධික වේගය වැනි හිතා මතා සිදුකරන ප්‍රධාන වරදවල් වෙනුවෙන් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් එහෙත් ඉරි කැපීම, නැවැත්වීම, ඉස්සර කිරීම, මාර්ග සංඥා පිළිබඳව ක්‍රියා කිරීම වැනි අහඹු ලෙස සිදුවන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල දැනට පවතින දඩ මුදලම විය යුතු බවත් ඔහු සඳහන් කළේය.