යුද සමයේ අවතැන්ව සිටි සියලු දෙනා රටට සාමය උදාවීමෙන් පසු ඒ අය පදිංචිව සිටි මුල් ගම්බිම්වලම පදිංචි කිරීම ජනාධිපතිවරයාගේ අභිලාෂය වී තිබූ බවත්, ඒ අනුව අවතැන් වූ ජනතාවගෙන් 95% - 98%ත් අතර පිරිසක් මේ වනවිට තමන්ට අයත්ව තිබූ මුල් ගම්බිම්වල තමන්ගේ නිවාසවලම නැවත පදිංචිකිරීම අවසන් කර ඇති බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුලතිව්, කේප්පපුලව්හිදී පවසා සිටියේය.
මුලතිව්හි කේප්පපුලව් ග්‍රාමයේ ඉදිකරන ලද නිවාස 101ක් ගම්වාසීන් වෙත බෙදාදීමේ උත්සවයට එක් වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව, නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ අරමුදල්වලින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින යුද හමුදාවේ 200ක පමණ භට පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව පැවසෙයි. එසේ ඉදිකරන ලද නව නිවසක් සංකේතාත්මකව භාරදීමෙන් අනතුරුව තවත් පවුල් 100ක් වෙනුවෙන් ඔවුන්ගේ නිවාසවල යතුරු ප්රදානය කිරීමද මෙම අවස්ථාවේදී ලේකම්වරයා අතින් සිදු කෙරිණි.
කෙසේ වෙතත්, මෙසේ නිවාස 101ක් ලබාදීම එම වැඩපිළිවෙළෙහි දෙවැනි අදියර වූ අතර, පළමු වැනි අදියරේදී ඉදිකළ නිවාස 50ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයා අතින් අවස්ථා දෙකකදී පසුගිය වසරේදී නිවාසලාභීන් වෙත ප්රදානය කර තිබුණි. එමෙන්ම, මෙහි තෙවැනි අදියර වෙනුවෙන් තවත් සඳහා නිවාස 66ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමද ආරක්ෂක ලේකම්වරයා අතින් මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.