අලුත්ගම හා දර්ගා නගරයේ ඊයේ (15දා) පැවති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ හේතුවෙන් ඔහු කොළඹට මාරුකර යවා තිබේ.
එක් පොලිස් නිලධාරියෙකු හා කැරලි මර්දන ඒකකයේ දෙදෙනෙකුද තුවාල ලබා තිබේ.
මේ අතර තත්ත්වය මැඬලීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග වෙනදා ජනාකීර්ණව පැවති අලුත්ගම නගරය අද (16දා) පාළුවට ගොස් ඇත.
කලබලකාරී තත්ත්වයෙන් පසුව අලුත්ගම නගරයේ විවිධ වෙළෙඳ සැල් 10ක් පමණ ගින්නෙන් මුළුමනින්ම විනාශ වී තිබූ අතර, තවත් වෙළෙඳ සැල් 10කට පමණ දැඩි හානි සිදුවී තිබේ.
අලුත්ගම හා දර්ගා නගරය ප්රදේශයේ සියලු පාසල් වසාදමා තිබුණි. මේ අතර කොළඹ සිට හා මාතර සිට ගමන්කරන දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නැවැත්වීම අත්හිටුවා ඇත.
අලුත්ගම බස් නැවතුම්පොළේ බස් ගමනාගමනය සිදුනොවූ අතර, බස් නැවතුම්පොළද පාළුවට ගොස් තිබිණි.
නගරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය විශාල වශයෙන් යොදවා තිබේ.
හදිසි අවස්ථාවක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ජල ප්රහාරක රථ, කැරලි මර්දන පොලිස් කණ්ඩායම් රැසක් පොලිස් වාහන රැසක් සමගින් සූදානම් කර තිබේ.
චතුරිකා ජයරත්න/ සුනිල් එස්. තන්ත්රිආරච්චි/ ඕෂධී සඳලිකා