මහියංගණය, දඹාන, මාදුරුඔය රක්ෂිතයේ මාවරා ඇල්ල, දෙඹටන් ඇල්ල, සුද්දන්ගේ ගල ප්‍රදේශයේ සැරිසැරූ වනඅලියෙකුට වෙඩි තබා ඝාතනය කර තිබියදී පෙරේදා (23දා) සොයාගත් බව දඹාන ගම්වාසීහු පවසති.
මියගිය වනඅලියාගේ සිරුර හමුවූ ප්‍රදේශයෙන් පසුගියදා (22දා) වෙඩි හඬක් ඇසුණු බවත්, මේ සම්බන්ධයෙන් මාදුරුඔය කලාපයේ වනජීවී නිලධාරීන් දැනුවත් කළ බවත් ඔවුහු පවසා සිටියහ.
මාදුරුඔය රක්ෂිතය තුළ මසකදී වනඅලින් කිහිපදෙනෙකු අවයව වෙළෙඳාම හේතුවෙන් ඝාතනයට ලක්වන බවත්, ආදිවාසීන් විසින් මෙම ඝාතනයන් සිදුකරන අතර, ඔවුන් අලින්ගේ ශරීර කොටස් සංචාරකයන්ට අලෙවි කරන බවත් දඹාන ගම්වාසීහු පවසති.
"අප මෙම චෝදනා සම්බන්ධයෙන් ආදිවාසී උපනායක ඌරුවරිගයේ ගුණබණ්ඩියා ඇත්තන්ගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, “මාරදුරුඔය රක්ෂිතය වටේම ගම් රැසක් තියෙනවා. විවිධ පුද්ගලයන් රක්ෂිතය ඇතුළට රිංගලා කරන විවිධ අකටයුතු සඳහා අවසානයේ චෝදනා කරන්නේ ආදිවාසී අපට. මම නිලධාරීන්ට කියනවා ආදිවාසී වේවා, සාමාන්‍ය ජනතාව වේවා රක්ෂිත භූමිය තුළදී කිසියම් වැරැද්දක් කර හසුවුවහොත් නිසි නීතිමය රාජකාරිය සිදුකරන්න කියලා.
මේ කතා කරන මම වුණත් කැලේ ඇතුළදී එවැනි අපරාධයක් කරලා අසු වුණොත් නිසි දඬුවම් කරන්න කියලා මම කියනවා. අපි කැලයට ආදරෙයි. අපේ උදව් ඕන වෙලාවක තියෙනවා එවැනි අපරාධකරුවන් අල්ලන්න. මෙවැනි අපරාධ කරන පුද්ගලයන් අල්ලන්න සයෝගය ලබාදෙන්න අපි කැමතියි කියලා මම නිලධාරීන්ට කියනවා. ගම්වල මිනිස්සු ඖෂධ හොයන්න, මීපැණි කඩන්න, දඩයමේ යන්න කැලේ ඇතුළට රිංගනවා. අසුවුණාම කියන්නේ ආදිවාසී කියලා. ඕක තමයි හැමදාම වෙන්නේ. අපේ පරම්පරාවේ කියලා බලන්න එපා වැරැද්දක් කරනවා නම් නිසි රාජකාරය කරන්න කියලා මම නිලධාරීන්ට කියනවා" යැයි ප්‍රකාශ කළේය.
මහියංගණය - රංජිත් කරුණාවීර