පැල්පොල විපස්සි හිමයෝ ලංකාවටත් වඩා ජපානය දන්නා මහානායක හිමිනමක් . බොරැල්ල පැල්පොල විපස්සි පදනම් මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී කවුරුත් නොදන්න අලි බිත්තර කතාවක් ගැන මාධ්‍යයට හෙළ කළා. ඒ වගේම නිසාන් කාර් බලන්න ගිය ගාමිණී දිසානායක මහතාට වෙච්ච ඇබැද්දියක් ගැනත් මෙහිදී හෙළිදරවු කළා.
"ජපන්නු තමන්ගෙ වැඩේට ඉලක්කගත වෙන නිසාදෝ බාහිර දැනුම එතරම්ම අඩුගතියක් තිබෙනවා. වරක් මම ජපානයේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ලංකාවට එක්කගෙන එද්දි මං කිව්වා ලංකාවේ අලි බලන්න ගියාම අලි බිත්තරත් අරන් එන්න පුළුවන්ය කියල. ඒ හින්දම ඒ ගොල්ලෝ අලි බිත්තර අරන් යන්න ලොකු බෑග් අරගෙන ආව. එවකට ජනපති හිටියෙ ජේ ආර් මහත්තයා. ළඟ ගාමිණී දිසානායක මහත්තයත් හිටියා..
ජේ ආර් මහත්තයට මං කිව්වම ජපන්නු අලි බිත්තරත් අරන් යන්න බෑග් අරගෙන ඇවිත්ය කියල එතුමා කිව්ව අලියා කොහොමත් අපේ පක්ෂයෙත් ලකුණනෙ. තව ටික වෙලාවකින් අලි යද්දි බිත්තර වැටෙයි අහුලගන්න කියන්න කියල.
වරක් ගාමිණී දිසානායක මහත්තයා ඇමතිවරයාව ඉඳපු අවස්ථාවක ජපානෙට ආව. ඇවිත් කිව්ව හාමුදුරුවනේ මං ඇමතිකම් සේරම එහේ තියල ආවෙ. මං දැන් නිකම්ම ගාමිණී කියල.ගාමිණීට ආසාවක් තිබුණ ජපානෙ පොදු ප්‍රවාහන සේවය බලන්න. අපි දෙන්න බස් එකේ නැගල නිසාන් කම්පැනියට ගියා. අපිට වාහන ගැන විස්තර කරන්න ගෑනු ළමයෙක් හිටියා.
ගාමිණී මහත්තයටයි මටයි නිසාන් කම්පැනියෙ කාර් ගැන පැහැදිලි කරන අතරතුරේ චීන්නු පණහක් විතර වාහන ගැන අහන්න අපේ පිටිපස්සෙන් හිටිය. හැබැයි අර කෙල්ල අපිටමයි පැහැදැලි කරන්නෙ. ගාමිණී දිසානායක මහත්තය මට කිවව හාමුදුරුවනේ ඇයි මේ කෙල්ල අපිට විතරයි පැහැදිලි කරන්නෙ. චීන්නුන්නුට කියල දෙන්නෙ නැත්තෙ ඇයි කියල. මමයි භාෂා පරිවර්තක විදියට එතුමා එක්ක ගියේ මං ඒ ළමයගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා. ඇය දුන්නෙ මෙහෙම උත්තරයක්. 'මං දන්නවා ඔයගොල්ලො කොච්චර ඇහුවත් කාර් එකක් හදන්නැති බව. හැබැයි චීන්නු එහෙම නෙවෙයි. ඒකයි උන්ට කියල දෙන්නැත්තෙ' කියල"
ඡායාරූප ඉසුරු පෙරේරා