අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ කටයුතුවලට නිලධාරීන් 800ක් සිටිය යුතු වුවත් කොමිෂන් සභාව තුළ සේවය කරන්නේ නිලධාරීන් 157 දෙනෙකු පමණක් බැවින් කොමිසමට ලැබුණු පැමිණිලි දසදහසක් ගොඩගැසී තිබෙන බව එම කොමිෂන් සභාවේ සභාපති ඩිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කළාය.
මෙම පැමිණිලි අතර 2001 වසරේ ලැබුණ පැමිණිලිද තිබෙන බවත්, 2001 වසරේ සිට පසුගිය වසර දක්වා වූ කාලය තුළ ලැබුණු පැමිණිලිවලින් 6000ක් පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවද පවසා සිටියේය.
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී පැමිණිලි 4000කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන අතර, එම පැමිණිලිවලින් රාජ්‍ය නිලධාරීන් 4000කට අධික පිරිසකට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බවද ඇය සඳහන් කළාය.
ලැබී තිබෙනා පැමිණිලි දසදහස තුළ වැඩි වශයෙන්ම තිබෙන්නේ දූෂණ හා වත්කම් පැමිණිලි බවත්, කොමිසම තුළ වත්කම් පරීක්ෂණය සිටින්නේ නිලධාරීන් 21 දෙනෙකු වන අතර දූෂණ විමර්ශනයට සිටින්නේ නිලධාරීන් 41 දෙනෙකු පමණක් බවද අධ්යක්ෂ ජනරාල්වරිය පවසා සිටියාය.
මීට අමතරව කොමිෂන් සභාවට විමර්ශන අධ්‍යක්ෂකවරයෙකු නොමැති බැවින් එහි වැඩකටයුතු සිදුකිරීමට සිදුව තිබෙන්නේ තමාට බවද ඩිල්රුක්ෂි මහත්මිය පවසා සිටියේය.
මීට අමතරව සහකාර පොලිස් අධිකාරී තනතුරු 05ක් කොමිසමට සිටිය යුතු වුවත් එම තනතුරු වලින් තනතුරු 02 පුරප්පාඩුව තිබෙන බවද ඩිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කළාය.
අල්ලස් හා දූෂණය තුරන් කිරීමට නම් රටේ සියලුම දෙනාගේ සහයෝගය ලැබිය යුතු බවත්, මේ වසරේ මාර්තු 27 වන දින සිට සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක වන නිසා අල්ලස් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන සියලුමදෙනා ආරක්ෂා කරන බවද පවසා සිටියාය.
අල්ලස් හා දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට ලිපි මගින්, දුරකථන මගින් සහ ෆැක්ස් මගින් තොරතුරු ලබාදිය හැකි බවත්, දෙසැම්බර් 09 වන දිනට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේදී පැමිණිලි ඉදිරිපත් කිරීමට ෆේස්බුක් පිටුවක් ආරම්භ කරන බවද ඩිල්රුක්ෂි මහත්මිය කියා සිටියාය.