අල්ලස් හෝ දූෂණ චෝදනා පනතට දූෂණය වරද ඇතුළත් කළ කාලයේ සිට මේ දක්වා ගත වූ වසර 24 තුළ ගොනු කළ නඩු 75කින් වරදකරුවන් බවට තීන්දු කර ඇත්තේ විත්තිකරුවන් 04 දෙනෙකු පමණක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
1954 අංක 11 දරන අල්ලස් පනත සංශෝධනය කරමින් 1994 දී 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත හඳුන්වා දුන් අතර එයට දූෂණය වරද ඇතුළත් වේ.
අල්ලස් නඩු විභාග කිරීම මහේස්ත්‍රාත් අධිකරණ වෙත පැවරීම හේතුවෙන් නඩු විභාග කිරීමට අධික කාලයක් ගතවීම සහ නඩු පැවරීම පොලීසිය මගින් සිදු කිරීම ආදී විවිධ හේතු මේ සඳහා බලපා ඇති බවද ජයමාන්න මහතා කීවේය.
දූෂණය වරද පනතට ඇතුළත් කර ගත වූ වසර 24ක කාලය පුරාවට විභාග කර ඇති නඩු 75කින් පුද්ගලයන් 71 දෙනෙකු නිදහස් වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් අල්ලස් පනත සංශෝධනය කිරීමේ කාලය පැමිණ ඇති බවත්, අල්ලස් නඩු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කළ හැකි ආකාරයට පනත සංශෝධනය කරන බවත් ජයමාන්න මහතා කීවේය.
පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් වන ආකාරයට අල්ලස් පනත සංශෝධනය කිරීමට නියමිත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
මෙම වසරේ මුල් මාස තුනේදී අල්ලස් නඩු පනස් ගණනක් විභාග කර සැකකරුවන් 32 දෙනෙකු අධිකරණයෙන් වැරදිකරුවන් කර ඇතැයිද, 2017 වසරේදී අල්ලස් සහ වත්කම් නඩු 83කින් 57 දෙනෙකු වැරදිකරුවන් වී ඇතැයිද අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසමේ ඉතිහාසයේ වැඩිම පිරිසක් අධිකරණයෙන් වරදකරුවන් කළේ 2017 වසරේ බවද හෙතෙම සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 25 වසරක ඉතිහාසයේ සිට මේ දක්වා විමර්ශන නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ පොලිස් නිලධාරීන් 200ක් පමණක් බවත්, උපාධිධාරීන්, ගණකාධිකාරීන් ආදී විමර්ශන නිලධාරීන් නොමැති බවත් කී ජයමාන්න මහතා, එම ගැටලුවට විසඳුම් ලෙස විශේෂඥ නිලධාරීන් 200ක් බඳවාගැනීමට අවසර ලැබී ඇති බවත්, මේ වසරේ ජුනි වනවිට 50 දෙනෙකු පමණ බඳවාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඊයේ (29දා) වත්තල ප්‍රදේශයේ පැවැති වැඩමුළුවකට සහභාගි වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.