කොළඹ වරායට පැමිණෙන බහලුම් ප්‍රවාහන රථවලින් අල්ලස් ලබාගැනීමට ඉඩනොදෙන බවත්, කිසිදු දේශපාලන බලපෑමක් මත කොළඹ වරයාට බහලුම් ප්‍රවාහන රථ අලුතින් යෙදවීමට අවසර නොදෙන බවත් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
"මේ වනවිට කොළඹ වරායේ බහලුම් ප්‍රවාහනයට හා පහසුකම් සැපයීමට ආයතන රැසක් ඉදිරිපත්ව සිටිනවා. එහෙත් මගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ එම සේවාව සපයන සුළු ව්‍යාපාරිකයන් වෙත. මින් ඉදිරියට බහලුම් ප්‍රවාහන රථවලින් අල්ලස් ගැනීමට මම ඉඩදෙන්නේ නැහැ.
බහලුම් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා අපි කමිටුවක් පත්කරනවා. එම කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී සියලුම බහලුම් ප්‍රවාහන රථ ලියාපදිංචි කිරීමට කටයුතු කරනවා. දේශපාලන හේතූන් මත හෝ, වෙනත් බලපෑම් මත අලුතින් බහලුම් රථ කොළඹ වරායට ඇතුළු කිරීම සඳහා අවසර ලබාදෙන්නේ නැහැ. කොළඹ වරායට අලුතින් බහලුම් රථ යොදවන ලෙසට පැමිණි දේශපාලන ඉල්ලීම් මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා" යැයි ඔහු පැවසීය.