වසරක කාලයක් තුළ අල්ලස් වලින් උපයාගත් මුදල් වලින් ස්ථාවර තැන්පතු හා ගල්කිස්සෙන් ඉඩමක් මිලදී ගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු ආගමන හා විගමන පාලකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය රුපියල් ලක්ෂ 66ක දඩයක් පසුගියදා (22දා) නියම කළාය.
රාජ්‍ය සේවවේ නිරත වී සිටින නිලධාරීන්ට හා රාජ්‍ය සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඩුවම් නියම කරන්නැයි ඉල්ලමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශනිල් කුලරත්න මහතා කල ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට එම දඩ මුදල නියම කල අතර එයට අමතරව වසර දහයක කාලයකට අත්හිටුවන ලද වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමකද නියම කළාය.
විත්තිකරු ජවය සහ බලය තිබු සමයේ මෙම වරද සිදු කර ඇති නමුත් නඩුව විමසා චෝදනාවන්ට වරදකරු කරන විට ජවය සහ බලය පිරිහී රෝගීව අසරණ වී සිටින අවස්ථාවකදී ජීවීතයේ අවසාන සමයේ නිවසට වී සිටිය හැකිවන අන්දමට දඩුවම් නියම කරන බ සඳහන් කරමින් මෙලෙස අත්හිටවු සිර දඬුවම් හා දඩ නියම වුයේ ගල්කිස්ස මවුන්ට් ඇවනිව් හි පදිංචි හිටපු ආගමන හා විගමන පාලක ජේ.ඒ. ආරියසේන මහතාටය.
1994 මාර්තු මස 31 වැනිදාත් 1995 මාර්තු මස 31 වැනිදාත් අතර කාලය තුලදී සිය දන්නා වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි වු මුදල් හා දේපළ වල හිමිකරුව සිටින ලද බවත් ඒ අනුව අල්ලස් වලින් උපයාගත් මුදල් වලින් සිය බිරිඳගේ නමින් කොල්ලුපිටියේ රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුවේ රුපියල් ලක්ෂ දෙකක ස්ථාවර තැන්පතුවක් දමා තිබීම හාගල්කිස්ස මවුන්ට් ඇවනිව් හි අංක 09 ඉඩම සමඟ නිවස රුපියල් ලක්ෂ 20කට මිලදී ගැනීම යන චොදනා මත අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
වසර දහසයක කාලයක් පුරා මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තීන්දුවේ අවසන් පිටු කිහිපය විනිසුරුවරිය විසින් අධිකරණය හමුවේ කියවන ලදී.