අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරයකට
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, ලබන 05 වැනිදා සිට 07 වැනිදා දක්වා ඔහු මෙරට නිල සංචාරයක නිරත වෙයි.
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වැනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්වෙමින් ශ්‍රී ලංකාව 2017 දෙසැම්බර් 13 වැනි දින එම සම්මුතියට එක්විය.
‘ඔටාවා සම්මුතිය’ නැතහොත් ‘බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන, ‘පුද්ගල නාශක බිම්බෝම්බ භාවිත කිරීම, රැස් කිරීම, නිෂ්පාදනය කිරීම, හා පැවරීම තහනම් කිරීමේ සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියේ අරමුණ වනුයේ ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය අවසන් කිරීමයි.
1997 දෙසැම්බර් 3 වැනි දින අත්සන් තැබීම ඇරඹුණු මෙම සම්මුතිය 1999 මාර්තු 1 වැනිදා බලාත්මක විය. දැනට සම්මුතියට රාජ්‍ය පාර්ශ්ව 164 ක් වෙයි.
විශේෂ නියෝජිතවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
එසේම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතය.
බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙල කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


