විදේශ ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද (03දා) නැවතත් දිවයිනට පැමිණෙන බව ‘අද’ පුවත්පතට තහවුරු කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා විදේශගතවිණි.
තමන් විදේශ ගතවූයේ තම සමීපතම මිතුරෙකුගේ පුත්‍ර යෙකුගේ විවාහ මංගල්‍යයක් සඳහා එක්වීමට බවත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව තමන්ට රජයෙන් පවරා ඇති වගකීම් නිසි අයුරින් ඉටුකිරීමට බලාපොරොත්තුවන බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා 'අද' පුවත්පත කළ විමසීමක දී ප්‍රකාශ කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට රජයේ පස් අවුරුදු සැලසුම් ප්‍රධානී ලෙස කටයුතු කරයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ඉදිරිපත් වූ කෝප් වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ, එම වාර්තාවෙන් තමන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් ඇති නොවන බවයි.
"අද මම ලංකාවට එනවා. ජකර්තාහි මාගේ සමීපතම හිතවතෙකුගේ විවාහ මංගල්‍යයක් සඳහා එක්වීමට මම විදේශ ගතවුණා. ලංකාවට පැමිණීමෙන් පසුව මට පවරා තිබෙන රාජකාරි නිසිලෙස ඉටුකරනවා.
කෝප් වාර්තාව පිළිබඳවත් මට දැනගන්න ලැබුණා. කෝප් වාර්තාවේ ඇතුළත් දෑ මගේ රාජකාරී සඳහා බලපෑමක් ඇති කරන්නේ නෑ. මම හෝ මගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් වරදක් කර ඇති බවට කෝප් වාර්තාවේ සඳහන්ව නැති බවක් මට දැනගන්නට ලැබුණා. කොහොම වුණත් ලංකාවට ආපුවහම මේ සියල්ලටම පිළිතුරු ලැබේවි" යැයි හිටපු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.