කොළඹ හා තදාසන්න බලප්‍රදේශවල ගවයන් මංමාවත්වලට මුදා නොහරින ලෙස සියලු ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.
එසේ මංමාවත්වලට මුදාහැර තිබුණහොත් එම ගවයන් ඉවත් කිරීමට අදාළ ආයතනවල නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පවසයි.
විශේෂයෙන් කොළඹ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභාවලත්, කොටිකාවත්ත - මුල්ලේරියාව හා කොලොන්නාව නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ගවයින් මංමාවත්වලට මුදා නොහරින ලෙස සියලු ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ගවහිමියන් විසින් ඉහත සඳහන් බලප්‍රදේශයන්හි ගවගාල් පවත්වාගෙන යනු ලබන්නේ නම් අදාළ මහනගර සභාවෙන්, නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් සුදුසු බලපත්‍රයක් ලබාගෙන සුදුසු ස්ථානයක එම කටයුතු සිදු කළයුතු බවද ඒ මහතා අවධාරණය කර සිටී.
මහමග නිදැල්ලේ ගැවසුණු ගවයෙක් මිය ගිය පසු එම ගවයාගේ කුස තුළ තිබී පොලිතීන් කිලෝ 20කට අධික ප්‍රමාණයක් හමු වී තිබෙන බවද වාර්තා වී ඇති අතර, එබැවින් අනාගතයේදී නාගරීකරණයත් සමග මහා මාර්ගවලට ගවයන් නිදැල්ලේ මුදාහැරීමට තවදුරටත් ඉඩලබාදිය නොහැකි කර්තව්‍යයක් බවත්, එමගින් මාර්ග අනතුරු, මාර්ග තදබදයන්, වීථි අවලස්සන වීම සිදුවීම සඳහා බරපතළ ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.
ගවයින් සිටිය යුත්තේ නිශ්චිත ගවගාල්වල පමණක් බවත්, මහාමාර්ගවල පොලිතීන් ආහාරයට ගනිමින් නොවන බවත්, තමන්ගේ ගවයින් ගවගාල්වල තබාගන්නා ලෙස සියලු ගවහිමියන් වෙත අවධාරණය කරන අතර, එසේ නොකරන අයගේ ගවයන් අදාළ බලධාරීන් ලවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි.
පළාත් පාලන අණපනත් රීති, අතුරු නීති අනුව ක්‍රියා කරන අතර, ඒ සඳහා පළාත් සභාව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ නගර සභා සමග එකතුවී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළ අතර ගවයන්, ගවයන්ට සුදුසු ගව ගාල්වලට ගෙනයන ලෙසත්, ඒ සඳහා බලපත්‍ර ලබාගන්නා ලෙසත්, එසේ නොවන සෑම ගවයෙක්ම මහාමාර්ගවලින් ඉවත් කොට නිශ්චිත ගවගාල්වලට යොමු කිරීමට කටයුතු කරන බවට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.