පාරක් පාරක් ගානේ උද්ඝෝෂණ පලක් නෑ
රු. 10,000කින් වැටුප් වැඩිවීමක් නෑ, ඒත් සෑහීමකට පත්විය හැකි සහන ලැබෙනවා
සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත ජනතාවටම සහන සලසා තිබෙන නිසා පාරක් පාරක් ගානේ සිට උද්ඝෝෂණ සිදු කිරීමෙන් පලක් නොවන බවත්, මේ නිසා වැඩ කරන ජනතාවට සහන සලසන ආකාරය පිළිබඳව උද්ඝෝෂණය කර වර්තමාන ආණ්ඩුවට පෙන්වීමට අවශ්‍ය නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
2015 වසරට අදාළ අයවැය සකස් කර තිබෙන්නේ වෘත්තීය සමිති සහ ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන බවත්, මේ අනුව මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ වැටුපට සාධාරණයක් සිදුවන බවත්, මහජනතාවට සහන සැලසීම මේ වනවිටත් ආරම්භකර තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.
වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසගේ අදහස් ලබාගෙන අයවැය සකස් කළේ මීට සති දෙක තුනකට පෙර බවත්, මේ නිසා වෘත්තීය සමිති තැන තැන උද්ඝෝෂණය කළා යැයි සකස් කළ අයවැය ලේඛනයේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් මහලේකම්වරයා පවසා සිටියේය.
ඊයේ (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් ඉහළ දමන ලෙසට වෘත්තීය සමිති ඉල්ලා සිටියද, රාජ්‍ය සේවකයා වෙනුවෙන් රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදුනොවන බවත්, එහෙත් රාජ්‍ය සේවකයාට සෑහීමකට පත්විය හැකි සහන ලැබීම අනිවාර්ය බවත්ය.