2017 අයවැය යෝජනා මගින් ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ ජීප් සඳහා ලීසිං පහසුකම් ලබාගැනීම දැඩිව සීමාකිරීමෙන් එම වාහන මිලදී ගැනීම ශීඝ්‍ර ලෙස අඩුවීමටත්, එය ලීසිං ක්ෂේත්රයේ බලවත් කඩා වැටීමකටත් හේතු විය හැකි බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
මෝටර් වාහනයක් කල්බදු ක්‍රමයට (ලීසිං) මිලදී ගැනීමේදී ඒ සඳහා මෙතෙක් ලබාදුන් ණය තක්සේරු වටිනාකම් අතර අනුපාතය වෙනස් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව, තක්සේරු වටිනාකමින් මෙතෙක් ලබාදුන් ණය වටිනාකම වූ 70% ක අගය ඉදිරියේදී වෙනස්වීමට නියමිතය.
නව අයවැය යෝජනා අනුව ත්‍රිරෝද රථ සඳහා ණය - තක්සේරු අනුපාතය 25%කි. එමෙන්ම, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක් වන අතර, වාණිජ වාහන (ලොරි හා බර වාහන) සඳහා එය 90%ක් කර තිබේ.
මින් කියැවෙන්නේ ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමේදී ඒ සඳහා සිදුකරනු ලබන තක්සේරු වටිනාකමෙන් ණය ලෙස ලබාදෙන්නේ 25% ක ප්‍රමාණයක්ද, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක්ද, වාණිජ වාහන සඳහා 90%ක්ද බවත්ය.
ඒ අනුව, ඔබ රු.ලක්ෂ 20ක තක්සේරු වටිනාකමකින් යුතු මෝටර් රථයක් මිලදී ගන්නේ නම්, ඒ සඳහා ඔබට ලීසිං පහසුකම් ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10කි. ඉතිරි රුපියල් ලක්ෂ 10 ඔබට පෞද්ගලිකව යෙදවීමට සිදුවෙයි.ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ණය තක්සේරු අනුපාතය 25%ක් කිරීමෙන් ත්‍රිරෝද රථ මිලදී ගැනීම තවදුරටත් අධෛර්යවත් කිරීමට රජය කටයුතු කර ඇත.
2015 වසරේ දෙසැම්බර් මාසයේදී මහ බැංකුව විසින් එහි ලියාපදිංචි බැංකු, මූල්‍ය සමාගම්වලට විශේෂ රෙගුලාසියක් පනවමින් කල්බදු ක්‍රමයට මෝටර් වාහන ලබාගැනීමේදී ණය හා තක්සේරු වටිනාකම අතර අනුපාතය 70%ක් කර තිබුණි.එම රෙගුලාසි අනුව තක්සේරු වටිනාකමෙන් 30%ක් මුදලින් ගෙවා මෝටර් රථයක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට පැවැතුණි.
2017 අයවැයේ ණය- තක්සේරු අනුපාතය පිළිබඳ සඳහන් යෝජනාව සඳහන් වූයේ, 'වාහන කාණ්ඩ සඳහා ලබාදෙන ණය හා තක්සේරු වටිනාකම් අතර අනුපාතය (Loan to Value Ratio) ත්‍රිරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් සඳහා 50% ක්, වාණිජ වාහන (ලොරි හා බර ප්‍රවාහන) සඳහා 90%ක් වන පරිදි සීමා කිරිමට යෝජනා කෙරේ' යනුවෙනි.
මෙම නව ණය - තක්සේරු අනුපාතය පිළිබඳව අදහස් දැක්වූ ලීසිං ක්ෂේත්රයේ සේවයේ නිරතව සිටින වෘත්තිකයන් පැවසුවේ නව යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලීසිං පහසුකම් වෙත යොමුවීමට පාරිභෝගිකයන් අධෛර්ය මත් වීම හරහා එම ව්‍යාපාර ක්ෂේත්රය කඩා වැටීමටත්, එහි වෘත්තිකයන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමටත් වැඩි ඉඩක් පවතින බවයි.
මීට අමතරව, 2017 අයවැය යෝජනා සමග නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයට අනුව එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මෙතෙක් කල් පැවති කියුබික් සෙන්ටිමීටර් 01කට රු.1,500/- ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද, කියුබික් සෙන්ටිමීටර් 01කට රු.1,750/- දක්වා වැඩි කිරීමෙන් මරුටි, ඇල්ටෝ, ඉඔන්, ක්විඩ් ආදී මෝටර් රථවල මිල රු.200,000/- කින් පමණ ඉහළ යනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. එහිදී, වාහන වෙළෙඳ පොළේ සිදුවන මිල ගණන් වෙනස්වීම් පිළිබඳ වැඩිදුර විස්තර ව්‍යාපාරික පිටුවේ දැක්වෙයි.
එමෙන්ම, ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන සඳහා ABS තිරිංග පද්ධති හා SRS එයාර්බෑග් අනිවාර්යය කර ඇති බවට වූ යෝජනාව තවත් සුවිශේෂී හා විවාදයට තුඩුදී ඇත්තකි. සාමාන්‍යයෙන් මෝටර් රථවල එයාර් බෑග් විශේෂාංගය අත්‍යවශ්‍යම අංගයක් ලෙස සැලකිය නොහැකි බව වෙළෙඳ පොළ විමසීමේදී දැනගන්නට ලැබේ. 'බේසික්' වාහනයක් මිලදී ගන්නා අයෙකුට එයාර් බෑග් හෝ ABS තිරිංග ලබාදීම වාහනයේ මිල තවත් කිහිප ගුණයකින් වැඩිවීමක් වන අතර, මේ තුළින් 'බේසික්' වාහන ගෙන්වීම රජය හිතාමතා පැහැර හැරීමක් සිදුකර ඇති බවත්, එය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු කඩකිරීමක් ලෙසත් චෝදනා නැඟෙයි.