අයවැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ලියවී තිබෙන්නක් බැවින් එය පරාජය කිරීමට ඡන්දය භාවිත කරන බවත්, ඊට අමතරව කොල්ලකාරී ආර්ථික ක්‍රමවේදයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අයවැය හිඟය අඩු කිරීමට අයි.එම්.එෆ්. එකට පොරොන්දු ලබාදී තිබෙන බවත්, මේ නිසා දළ දේශීය නිෂ්පාදිතය 15%ක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු අයවැය තුළින් සිදුකර තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඉදිරිපත් කළ අයවැය ලේඛනයට අනුව ලබන වසරේ රජයේ ආදායම රුපියල් කෝටි 204,900 ක් බවත්, වියදම රුපියල් කෝටි 346,900 ක් බවද පවසා සිටියේය.
මේ අනුව අයවැය හිඟය පියවා ගැනීම සඳහා ජනතාව මත බදු පටවා තිබෙන බවත්, අලුතින් පැනවූ බදුවලින් රජය රුපියල් කෝටි 39,000ක් සොයා ගැනීමට කටයුතුකර තිබෙන බවද සඳහන් කළේය.
එම බදු ප්‍රමාණයෙන් රුපියල් කෝටි 23,200 ක්ම භාණ්ඩ හා සේවා මත පනවන බදු වලින් උපයා ගැනීමට සැලසුම්කර තිබෙන බවද ප්රචාරක ලේකම්වරයා කියා සිටියේය.
මේ අනුව කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීමට මේ ආණ්ඩුවටත් කෙටිකාලීන හෝ දිගුකාලීන උත්තර නොමැති බවත්, ඔවුන්ගේ උත්තරය වී තිබෙන්නේ ණය ලබාගැනීමෙන් හා ජනතාව මත බදු සහ දඩ පැනවීමෙන් අයවැය හිඟය පියවා ගැනීමට බවද සඳහන් කළේය.
සීනි කිලෝවක මිල රුපියල් 2 කින් අඩුකර අර්තාපල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල සුළු මුදලකින් අඩුකර ආණ්ඩුව ජනතාවට සීනි බෝල පෙන්නා තිබෙන බවත්, මේ වෙනුවෙන් ජනතාව පෙළගස්වා ජනතා අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවද පවසා සිටියේය.