පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ලබන 28දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා 'අමරදේව අසපුව' ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති බවද අලගියවන්න මහතා කීවේය.
අද (24) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව කීවේය.
සංගීත අසපුව පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේ දී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන් ම අමරදේවයන්ගේ අදාහන උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසින් දුන් පොරොන්දුවක් යථාර්ථයක් බවට පත්කරමින් මෙම අසපුව ඉදිකෙරෙන බවත් ඒ සඳහා අයවැය හරහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත මුදල් ප්‍රතිපාදන වෙන් ව ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුනි.
බත්තරමුල්ල අපේගම ආසන්න නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භුමියක් පුරා මෙම සංගීත අසපුවේ ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර ම අමරදේව අසපුව ආයතනයක් ලෙසින් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ද පැවසීය.
මේ සඳහා රුපියල් මිලියන 250ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට ඇති අතර ඒ සඳහා 2017 සහ 2018 වසරවලදී මහභාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර එහි ඉදිකිරීම් 2019 වසරේ මුල්කාර්තුව වන විට අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට ද බලාපොරොත්තු වේ.