පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අනුගමනය කළයුතු නිර්ණායක මාලාවක් දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරන බවත්, ඊට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල අනුව රාජ්‍ය දේපළ හා රාජ්‍ය මාධ්‍ය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 400කට අධික මුදලක් වියදම විය හැකි බවද පවසා සිටියේය.
මෙතෙක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගත් පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පාසල් යොදාගැනීම අවම කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය. මැතිවරණ ප්රචාරක රැස්වීම සිදුකිරීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර අදාළ භූමියට පමණක් සීමාකරන බවත්, පාසල් ආසන්නයේ කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම සඳහන් කළේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමට බලතල රාශියක් ලැබී තිබෙන බවත්, මැතිවරණ කොමිසම පත්කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති නිසා ඒ සියලුම බලතල මැතිවරණ කොමසාරිස්වරයා ලෙස තමාට හිමි වී තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ නීතිරීති ක්‍රියාත්මක කිරීම නාමයෝජනා භාරදීම ආරම්භ වන ජූලි 06 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත්, තැපැල් ඡන්ද භාර ගැනීම ජූලි 03 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන බවද පවසා සිටියේය.
ඇප මුදල් තැන්පත් කිරීම ජුනි 27 වැනිදා සිට ජූලි 13 වැනිදා දහවල් 12.00 දක්වා සිදුකළ හැකි බවත්, නාමයෝජනා භාරදීම ජූලි 06 වැනිදා සිට ජූලි 13 වැනිදා දහවල් 12.00 දක්වාත් සිදුකළ හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.
සියලුම ප්රචාරක කටයුතු අගෝස්තු 15 වැනිදායින් අවසන් කළ යුතු බවත්, මැතිවරණය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට ස්ථාන මාරුවීම ලබාදිය නොහැකි බවද සඳහන් කළේය.
යම් අත්‍යවශ්‍ය මාරු කිරීමක් සිදුකරනු ලබනවා නම් එය තමාගේ පූර්ණ අනුමැතිය යටතේ සිදුවිය යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය, බෞද්ධ කොඩිය ඇතුළු ආගමික කොඩි භාවිත කළ නොහැකි බවත්, ආගමික නායකයන්ගේ රුවද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගත නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.