නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැහැරගෙන යෑමට තැත්කළ පස් හැවිරිදි පිරිමි දරුවෙකු බේරාගැනීමට එම දරුවාගේ මව සමත් වූවාය.
එප්පාවල, කැලේ අමුණුකොළය ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා (10දා) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර එම නිවසේ සිටි දරුවා ව පැහැරගෙන යෑමට උත්සාහ දරා තිබේ.එම අවස්ථාවේ දී නිවසේ සිටි දරුවාගේ මව ඔවුන් දෙදෙනා සමග පොරබදා තම පුත්‍රයා බේරාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දරුවාගේ මව වන චම්පිකා නයනා කුමාරි මහත්මිය එප්පාවල පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ චම්පිකා නයනා කුමාරී (අවු.24) මහත්මිය මෙසේ සඳහන් කළාය, "මම හවස 7 ට විතර ගෙදර එළියෙ තියෙන බුදුපහන පත්තු කරන්න එළියට ආවා. ඒ වෙලාවෙ පුතා ගේ ඇතුළේ කාමරේ කෑම කකා හිටියේ. මම පහන තියලා ගෙට යන්න හදද්දි ජැකට් දාගත්තු පිරිමි දෙන්නෙක් ඇවිත් මගෙන් ඇහුවා නංගි මල්ලි ඉන්නවාද කියලා. මම කිව්වා මහත්තයා තාම වැඩ ඇරිලා ආවෙ නෑ කියලා.
මහත්තයා එන්න රෑ වෙනවාද කියලා ඇහුවා එයාලා. ඊට පස්සේ එක්කෙනෙක් ඇවිත් මගේ උරහිස තදින් මිරිකලා ඇහුවා පුතා ඉන්නවාද කියලා. මම ඇහුවා ඇයි පුතා ගැන අහන්නෙ කියලා. මම කෑ ගහන්න හදද්දි මගේ කොණ්ඩෙන් ඇල්ලුවා. මගේ ඇඟට පිහියක් තියලා කෑ ගහන්න එපා කිව්වා. මට කෑ ගහන්න දුන්නෙ නෑ.
මම ඒ ආපු අයත් එක්ක දැඟලුවා. ළමයා ගන්න එක මිනිහෙක් ගෙට යන්න හැදුවා. මම ඒ මනුස්සයාගේ ජැකට් එකෙන් ඇද්දා. ඒ මනුස්සයා මගේ කකුල්වල පැටලිලා වැටුණා. ඒත් එක්කම අනිත් මනුස්සයාට මම මගේ අතින් ගහලා දුවගෙන ගිහින් පුතා හිටපු කාමරයේ දොර වැහුවා. ඊට පස්සේ උන් දොර අරින්න දැඟලුවා. ඊට පස්සෙ මම මල්ලිට කතා කරලා ඉක්මනට ගෙදර එන්න කිව්වා. උන් කෝල් එක දෙනවා ඇහිලා පැනලා ගියා.
මම එවෙලාවෙම රෑ ගිහින් එප්පාවල පොලීසියේ මට වෙච්ච සිදුවීම පැමිණිලි කළා. නමුත් මට පොලීසියෙන් සාධාරණයක් ඉටුවුණේ නෑ. මට පොලීසිය සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මගේ දරුවා පැහැර ගෙන යන්න එදා බැරිවුණාට කොයි වෙලේ හරි පැහැර ගෙන යයි කියලා මට බයයි.
මේ ගැන පරීක්ෂණ කරන්න කියලා මම ඉල්ලන්නේ. මට දැන් දරුවා කොහේ තියාගෙන හිටියත් බයයි. මගේ දරුවාට වෙච්ච දේ තවත් දරුවකුට වෙනවා දකින්න මම කැමති නෑ" යැයි පැවසීය.
මේ අතර, මේ පිළිබඳව අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ, පෙරේදා (10දා) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තම නිවසට පැමිණ වයස අවුරුදු 04 ක් වයසැති දරුවා පිළිබඳව විමසීමක් කළ බවටත්, ඒ අවස්ථාවේ අදාළ පුද්ගලයන් සමග අඬදබර කර, ඔවුන් පළවාහැරීමට කටයුතු කළ බවටත් කාන්තාවක විසින් එප්පාවල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.