තමන් අප්පච්චි මරන්න උත්සාහ නොකළ බවත්, අප්පච්චිට සේලයින් දුන් මිනිසුන් සේම ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම අයුරින් කැපවූ බවත්, අප්පච්චි මරන්න හැදුවේ සුමනදාස දෛවඥයා සහ පවුලේ උදවිය බවත් වාරිමාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණී සොයිසා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ තණමල්විල සෙවණගල පෙර පාසල් ළමයින්ට උපකරණ හා නිල ඇදුම් බෙදාදීමේ උත්සවයකට ඊයේ (26දා) සහභාගි වෙමින් ඉන් අනතුරුව පැවති රැස්වීමක් අමතමිනි. එහිදී, අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියලා. අපි මේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ දිස්ත්‍රික්කයේ නෙමෙයි, මේ රටේ එතුමාව දිනවන්න ප්‍රධානව වැඩ කරපු කෙනෙක් මම.
එතුමා කියනවා, අප්පච්චි මැරුනෙනෑ කියලා පෙන්නන්න ආවා කියලා. අපි අප්පච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමාව ජයග්‍රහණය කරවන්න උපරිම කැපවීමක් වැඩ කරපු අය.
මම විතරක් නෙවෙයි. මගේ පුතා රෑ එළිවෙනකන් රූපවාහිනී විවාදවල. විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා, සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමතිතුමා, අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමාලා එක්ක කවුද තර්ක කළේ. ලිපි ගොනු අරගෙන ආවේ හොරකම් කරපු ඒවගෙන්. ඒ බොරු කරපු ඒවට එළිවෙනකන් කතා කළේ මම.
ඉතින් අපි එහෙම කළේ මේ පක්ෂය පිළිබඳ තියෙන හැඟීමෙන්. එතුමා පිළිබඳ තියෙන හැඟීමෙන්. ඒ හැඟීම අදත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරේ අපේ ගෙදර තාම තියෙනවා. ඒක ගලවලා නෑ. අපි එතුමාට ආදරෙයි.
අපි අප්පච්චි මරන්න හැදුවේ නෑ. අප්පච්චි මැරුවේ වෙන කව්රුත් නෙවෙයි, එතුමාගේ පවුලේ අයයි, සුමනදාස කියන දෛවඥයයි.
අද අපේ ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. අපි ඇමතිකම් කළාට අද තියෙන්නේ යූ.ඇන්.පී ආණ්ඩුවක්. අපි ඒක බය නැතුව කියනවා. අපි ඇමතිකම් ගත්තේ යූ.ඇන්.පී. රනිල් වික්‍රමසිංහ ළඟට ගිහිල්ලා දෙපා නැමැදලා නෙමෙයි. අපිට වෙච්ච දේ අපි 8 වැනිදා වෙනකන් වැඩ කළා.
අද මම ඉන්නේ බරපතල චෝදනා යටතේ. මම ඇප පිට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මහින්ද රාජපක්ෂ දිනවන්න ගියපු නිසා. මම ලක්ෂ ගාණක් ඇප පිට ඉන්නේ. අපි නඩු දාගත්තා. අපි තර්ක විතර්ක කළා. අපි බදුල්ල, නුවරඑළිය, මොණරාගල දිස්ත්‍රික්ක තුනේම වැඩ කලා. එහෙම කරල කොහොම හරි බැලුවේ අපේ ආණ්ඩුව රැකගන්න.
අපි දැක්කා අපේ හිටපු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨ වැඩ කොටසක් කළා. රට නිදහස් කර ගත්තා. එතුමා රට නිදහස් කර ගත්තා විතරක් නෙමෙයි. සංවර්ධනයක් ගෙනාවා. ඒ ඔක්කොම කළත් එතුමාට බැරි වුණා 2ක් හදන්න. ඒ බඩයි, මොළෙයි. බඩ හදන්න බැරි වුණා. බඩට දැනුණා. සහනාධාර දුන්නේ නෑ මිනිස්සුන්ට. තෙල් මිල අහස උසට ගියා. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල බැස්සා. මොලේ හැදුවේ නෑ කියන්නේ, මේ රටේ ඉන්න තරුණ පරපුර බුද්ධිමත්, ඒ වගේම මධ්‍යම පන්තියක් ඉන්නවා. ඒ වගේම උගතුන් ඉන්නවා. හිතුවක්කාර පාලනයකට, ඒකාධිපති පාලනයකට මිනිස්සු කැමති වුණේ නෑ. සමහර ඇමතිවරු, හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාට අඬ අඬ තමයි දුක කිව්වේ" යැයි වැඩිදුරටත් පවසා සිටියේය.