විවිධ අපරාධවලට වරදකරුවන් වී සිටින දේශපාලඥයන් වෙත අමාත්‍ය පදවි පිරිනැමීම සිදු නොකළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මීට පෙර පැවති කොංග්රස් රජයේ ඉන්දීය අමාත්‍යවරු 4 දෙනෙකු එම ධුරවලින් ඉවත්කළ යුතු බව පවසමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ අදහස් දක්වා තිබේ.
කෙසේ වෙතත්, වත්මන් භාරතීය ජනතා පක්ෂ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට මෙන්ම, එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇති බවද පැවසෙයි.
සාමාන්‍ය නීතියට අනුව ඉන්දියාවේ අපරාධ චෝදනා එල්ල ඇති දේශපාලඥයන්ට රජයේ තනතුරක් දැරීමට අවස්ථාව පැවතියත්, එසේ අපරාධ චෝදනාවකට වරදකරුවෙකු වූ දේශපාලඥයන් රජයේ තනතුරුවලට පත්කළ නොහැකි බව කියැවෙයි.
මෙහිදී, අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අපරාධ සහ දූෂණ චෝදනාවලට මුහුණදී සිටින ඇමතිවරු නුසුදුසු බවට ප්‍රකාශ කෙරෙන උපදෙස් ලබාදීමක් සිදුකළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියත්, අගමැතිවරයා සහ ප්‍රාන්ත රාජ්‍යයන්හි මහ ඇමතිවරු අපරාධ චෝදනාවලට කලින් වරදකරුවන් වූ පුද්ගලයන් අමාත්‍ය මණ්ඩලයට ඇතුල් නොකිරීමට වගබලාගත යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.