අන්තවාදීන්ට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට පැවැසීය. එසේම යහපාලන රජය ජාතික සමගිය ස්ථාපිත කිරීමට පියවර ගත් බවත්, පොලිස් නිලධාරීන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉගෙන ගත යුතු බවද ඔහු පැවැසීය.
හෙතෙම මේ අදහස් පළකළේ, කළුතර පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ පැවැති පොලිස් ආධුනිකයන් විසිරයෑමේ උත්සවයට ඊයේ (20දා) එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, “පොලිස් සේවයේ නිලධාරීන් රජයේ නිල භාෂා දෙක වන සිංහල සහ දෙමළ දැනගත යුතුයි. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව දැනගැනීමද බොහෝ සෙයින් වැදගත් වෙනවා. දක්ෂකමට තැනක් ලබාදෙන පොලිස් සේවයක් ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. දක්ෂකමට භාෂාවක්, ආගමක්, ස්ත්‍රී පුරුෂ බවක් පිළිබඳව සිතිය යුතු නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව යහපාලන රජය ජාතික සමගිය ස්ථාපිත කිරීමට ක්‍රියාකළා. අප ශ්‍රී ලාංකික අනන්‍යතාවට සලකන්නේ නැතිනම් අනෙක් ජාතීන්ට ආගම්වලට බැණ වදින්නට, කුණුහරුප පාවිච්චි කරන්නට උත්සාහ කරනවා නම් ඔවුන් මෙරට ජාතික සමගිය කඩ කරන අන්තවාදීන් බව කිව යුතුයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තම වාසියට හෝ දීර්ඝ කාලීන අරමුණක් වෙනුවෙන් ක්‍රියාකිරීම නැවැත්වීමේ පළමුවන යුතුකම ඇත්තේ පොලීසියටයි.
ඒනිසා එවැනි අන්තවාදීන්ට එරෙහිව තදින් ක්‍රියාකරන්න. නැවත මෙරට භේදබින්න වන තත්වයක් උදා කරන්න එපා. පොලීසියේ යුතුකම ඉටුකරන්න. ජාතික සමගිය ඇතිකිරීම සඳහා ක්‍රියාකරන්නැයි මා පොලීසියට දන්වනවා.
ආසියාවේ හොඳම පොලිස් සේවය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම රජයේ අරමුණයි. විසිඑක්වැනි සියවසට ඔබින නවීනතම පොලිස් සේවයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූ පියවරක්ම ගන්නා ලෙස නීතිය හා සාමය ඇමතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දන්වා තිබෙනවා.“ යනුවෙන් පැවසීය.