දර්ශනය, නීතිය, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන් හැදැරීමට ඉදිරිපත් වන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන් බවත්, එම විෂයන් හැදැරීමට ගණිතය අසමත්වීම සුදුසුකමක් කරගත් එකම රට ලංකාව බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දර්ශනය වැනි විෂයන් හැදැරිය යුත්තේ ගණිතය දක්ෂ දරුවන් බවත්, එසේ නොමැතිවුවහොත් එම විෂයන්වලින් නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (25දා) පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
අපේ දරුවන්ගෙන් 54%ක් කලා පාඨමාලා හදාරන්නේ. ඒක විශාල ගැටලුවක්. දර්ශනය වැනි වැදගත් විෂයක්, නීතිය වැනි වැදගත් විෂයක්, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, වැනි විෂයන් ඉගෙන ගන්නා මූලික සුදුසුකම තමයි සාමාන්‍ය‘පෙළ විභාගයේ ගණිතය අසමත්වීම.
කලා පීඨයට යන අයගෙන් 90% ක් යන්නේ ගණන්වලට එස් එක අරගෙන. ගණිතයට ලකුණු ගන්න බැරිවීම තමයි දර්ශනය, නීතිය,සමාජ විද්‍යාව, දේශපාලනය හදාරන්න පසුබිම වෙලා තියෙන්නේ. මේක වියයුත්තක් නොවේ. දර්ශනය හදාරන්න රටේ දක්ෂම දරුවෝ යන්න ඕන. පුරාවිද්‍යා හදාරන්න දක්ෂකම් තියෙන්නෙ ඕන. සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව කියන්නේ විශිෂ්ට ගණයේ විද්‍යාවක්. ඒවා හදාරන්න විධිමත් පිරිස් යන්න ඕන. ඒකට ගණිතය අසමත්වීම සුදුසුකමක් කරගත් එකම රට ලංකාව පමණයි යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ