පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත්, ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නොමැති බවත් රජයේ පාර්ශ්ව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ 'ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2016' වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.
එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණයවන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන හැකිය.
එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9ක් හෙවත් 452,661ක් පාසල් නොයති. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ත අදාළ වයස් කාණ්ඩයෙන් සියයට 1.12ක් කිසිදිනක පාසල් ගොස් නැත.
සමීක්ෂණ වාර්තාවට අනුව කිසිදිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්රාමීයව ජීවත්වන දෙමව්පියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394කි. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18කි.
සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර, වයස අවුරුදු 12 - 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වේ. වයස අවුරුදු 15–17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බවද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතරය. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර, සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලිය.
සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.
එමෙන්ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමුවීම, දරුවන් නිවාසගත වීම, විවිධ අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත්කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයෑම කෙරෙහි බලපාන බවද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
අධ්‍යාපනය ලැබීමට දරුවෙකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද තහවුරු කළ මූලික අයිතිවාසිකමක්ව තිබියදී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.