පසුගිය සැප්තැම්බර් 03 වැනිදා සිට අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් මාසයකට වැඩි කාලයකට පසුව ඊයේ දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට පුවත් ඒජන්සිය පවසයි.
එරට අලුතින් ඉදිකරන ලද විද්‍යාඥයන් සඳහා වූ නිවාස සංකීර්ණයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙසේ උතුරු කොරියානු නායකයා නැවත කරළියට පැමිණ ඇත.
මේ අතර, ඔහුගේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී හැරමිටියක් ආධාරයෙන් ගමන් කරන උතුරු කොරියානු නායකයා දැකගත හැකිවිය.
32 හැවිරිදි වියේ පසුවන කිම් ජොන්ග්-උන් රෝගාතුර වීම හේතුවෙන් මෙසේ මාසයකට වැඩි කාලයක් අතුරුදන්ව සිටි බව කියැවෙයි. නමුත්, උතුරු කොරියානු බලධාරීන් පවසන්නේ තම නායකයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.
කෙසේ වෙතත් කිම් ජොන්ග්-උන් මෙසේ අතුරුදන්ව සිටි කාලයේදී ඔහුට එරට ප්‍රධාන රැස්වීම් දෙකක් මග හැරිණි. කොරියානු කම්කරු පක්ෂයේ සංවත්සරය මෙන්ම, උතුරු කොරියාව ස්ථාපිත කිරීමේ දිනය යන මෙම වැදගත් මහජන රැලි දෙකම පැවැත්වූයේ සිය නායකයා නොමැතිවය.
දේශපාලන විචාරකයන්ට අනුව මෙම මහජන රැලි දෙකම එරට නායකයෙකුට අතිශය වැදගත් දින දෙකක් බැවින් එවැන්නකට සහභාගි නොවී සිටීමට කිසිදු නායකයෙකු කටයුතු නොකරනු ඇත. මේ තත්ත්වය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එවකට යම් බරපතල ප්‍රශ්නයක් මතුකර තිබුණි.
සිය පියා වූ කිම් ජොන්ග්-ඉල්ගේ මරණයෙන් පසුව 2011 වසරේ බලයට පත් කිම් ජොන්ග්-උන් එම පක්ෂයේ, රටේ මෙන්ම ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා බවට පත්විය.
2012 වසරේදී මාර්ෂල් නිලය ලබමින් ඉහළම හමුදා පදවියක්ද ඔහු වෙත පිරිනැමීය. මේ අතර, 2013 දෙසැම්බර් මාසයේදී කිම් සිය මාමා වූ චැන්ග් සොන්ග්-තේක් මරා දැමූ අතර, ඔහු දේශපාලන කුමන්ත්‍රණයකට සැරසී සිටි බව එරට මාධ්‍ය කීය.