පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතාම අක්‍රීය කර ඇති බවත්, ඒ අනුව යානය යමෙකු විසින් හිතාමතාම ආපසු හරවා ඇති බවත් මැලේසියානු අගමැති නජීබ් රසාක් පවසයි.
චන්ද්‍රිකා සහ රේඩාර් දත්තවලට අනුව යානයේ ගමන්මග වෙනස් කරමින් යානය පැය හතකට වැඩි කාලයක් ගමන් කර ඇති බවත් මේ වනවිට තොරතුරු වාර්තා වන බව කියැවෙයි.
මීට පෙර කියවුනේ යානය පැය පහකට වැඩි කාලයක් ගුවනේ පැවති බවය.
ඒ අනුව, යානයේ ගමන්කළ මගීන් හා කාර්යමණ්ඩලය පිළිබඳව විශේෂ විමර්ෂණ වැඩිදුරටත් සිදුකරන බවද මැලේසියානු අගමැති නජීබ් රසාක් අවධාරණය කර තිබේ.
“යානය හිතමතා මෙහෙයවීමට යමෙකු ක්‍රියාකර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා. එබැවින් යානයේ ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩලය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවීමට කටයුතු යෙදුවා” යැයි අගමැතිවරයා පවසයි.
මේ අතර, පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය සොයා සිදුකරන දැවැන්ත අන්තර්ජාතික මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද වාර්තා වෙයි.
ඒ අනුව, යානය සෙවීම සඳහා ඇමෙරිකාවේ විශේෂ සෝදිසි කණ්ඩායමක්ද පැමිණ තිබිණි.
පසුගිය සෙනසුරාදා යානය අතුරුදන් වී මේ වනවිට සතියක් ගෙවී අවසන් අතර, ගුවන්යානා ආරක්ෂණය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානයක් යොමු වීමට මේ සිදුවීම හේතු වී ඇත.
කලින් විශ්වාස කළ කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් අතුරුදන් වූ යානය ගුවනේ පියාසර කරමින් තිබීමේ ඉඩකඩ වැඩි බවට තොරතුරු අනාවරණය වීමත් සමග ඇමෙරිකාව මේ ආකාරයෙන් විශේෂඥ කණ්ඩායම් පිටත් කර එවා තිබේ.
ඒ අනුව, මෙහෙයුම ව්‍යාප්ත කරමින් ඇමෙරිකාව සිය නාවික යාත්‍රාවක් සහ ඉතාම දියුණු මට්ටමේ ඔත්තු බලන ගුවන් යානයක්ද මැලේසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඉන්දියානු සාගරය කරා යවා ඇති බව මීට පෙර කියවුණි.
මැලේසියානු රජයේ ඉල්ලීමක් අනුව ඉන්දියානු නාවික හමුදාවත් සිය නාවික, ගුවන් හමුදා මෙන්ම වෙරළාරක්ෂක අංශත් සෝදිසි මෙහෙයුමේ සහයෝගයට එක් කරනු ලැබ ඇත.
මෑත යුගයේ දැඩි ආන්දෝලනයක් හා උභතෝකෝටියක් ජනිත කිරීමට හේතු වූ මෙම ගුවන් යානා අතුරුදන් වීම සමඟ මගීන් විශාල සංඛ්‍යාවක් සහිත ගුවන් යානයක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් අතුරුදහන් වූයේ කෙසේද යන්න සහ අතුරුදහන් යානයක් සොයා ගනු ලබන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.
මෙම සිද්ධියත් සමඟ ගුවන් යානය පැහැර ගනු ලැබීමකට, එය විනාශ කර දමනු ලැබීමකට මෙන්ම මගීන් සහ කාර්ය මණ්ඩලය අසීරු තත්වයකට පත් වීමට හේතු වෙන මට්ටමින් යානය අභ්‍යන්තරයේ පැවතිය යුතු පීඩනය පහත වැටීමට තිබූ ඉඩකඩ ආදී කරුණු කෙරෙහිත් සැලකිල්ල යොමුව ඇති බවද වාර්තා වෙයි.