අතිරික්තව නිපදවන විදුලිය, සාර්ක් කලාපීය රටවල් අතර හුවමාරු කරගැනීම පිළිබඳව මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ පරිපාලන ලේකම්, Ms. Shamshad Akthar සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව විසින් තම විදුලිබල ක්ෂේත්රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුකිරීමෙන් ඉදිරියේදි නිපදවීමට අපේක්ෂා කරනු ලබන අතිරික්ත විදුලි නිෂ්පාදිතය සාර්ක් කලාපීය රටවල් අතර හුවමාරු කරගන්නා ආකාරය පිළිබඳව, එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ පරිපාලන ලේකම්, ශම්ශාඞ් අක්තාර් මහත්මිය (Ms. Shamshad Akthar) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද (12) පෙරවරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡා කළාය.
දකුණු ආසියානු රටවල් අතරින් විසිහතර පැයම විදුලිය සපයන එකම රට වීමත්, සමස්ත ජනගහනයේ 98 කට විදුලිය සපයා තිබීමත් හේතුවෙන්, ශ්‍රී ලංකාව විදුලිබල ක්ෂේත්රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාව ඉතාමත් සතුටට පත්වන බව ශම්ශාඞ් අක්තාර් මහත්මිය පැවසුවාය. එසේම විදුලිය අතින් ස්වයංපෝෂිතවීම, රටක සංවර්ධනයේ මූලික මෙන්ම ප්‍රධානතම සාධකය වන බැවින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග විදුලිබල ක්ෂේත්රයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට තම කොමිසන් සභාව විසින් අපේක්ෂා කරන බව ශම්ශාඞ් මහත්මිය වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුම මේ වනවිට ලබාඇති ප්‍රගතිය පිළීබඳව අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහන යටතේ ප්‍රධාන ජාලයට ළගාවිය නොහැකි අති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට පවා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපයෝගී කරගනිමින් විදුලිය සපයාදීමට පියවර ගත් ආකාරය පැහැදිළි කළේය.
ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත බලශක්ති සංවර්ධනය පිළීබඳ ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බව පැවසූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාවේ පරිපාලන ලේකම්, ශම්ශාඞ් අක්තාර් මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආර්ථික කටයුතු හා සමාජ කටයුතු පිළිබඳ කොමිසන් සභාව සමග සමීප සබඳතා පවත්වමින්, විදුලිබල ක්ෂේත්රයේ අත්දැකීම් හුවමාරු කරගන්නා ලෙස විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියාය. පකිස්තානු ජාතික ශම්ශාඞ් අක්තාර් මහත්මිය (Ms. Shamshad Akthar) පකිස්ථානයේ මහබැංකු අධිපතිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර තිබේ.