08 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) පස්වරු 2.15ට විවෘත කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර,සමාරම්භක සැසිය පමණක් අද දිනයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට යොදවාතිබේ.
සැසිවාරය විවෘත කිරීමේ අවසන් පුහුණුවීම්ද පැවැත්වූ අතර, ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව පූර්ණ පරීක්ෂාවකට ලක්කර ඇත.
අද දින පාර්ලිමේන්තුවට ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වන බැවින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමා කිරීමට කටයුතු කර තිබේ.
අද (08දා) ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කරනු ලබන ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයක් ලබන 10 වැනිදාදවස පුරා පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී පසුගිය 03 වැනිදා පක්ෂ නායකයෝ තීරණය කළහ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(08දා) උදෑසනද යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳ විවාදය ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉල්ලා ඇති අතර, එම විවාදය ලබාදීමට පක්ෂ නායකයෝ එදින එකඟ වූහ.
ඒ අනුව 10 වැනිදා උදෑසන 10.30 සිට පස්වරු 6.30 දක්වා කල්තැබීමේ විවාදයක් ලෙස එම විවාදය පැවැත්වීමට නියමිතය.
එමෙන්ම 09 වැනිදා අධිකරණ සංවිධාන පනත්කෙටුම්පත (විශේෂ මහාධිකරණ පිහිටුවීම) පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය. මෙම පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව කරුණු සලකාබලා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදුන් වගන්ති ඉවත්කිරීමටද ආණ්ඩුව එකඟ වී ඇත.
මීට අමතරව11 වැනි සිකුරාදා ජාතික විගණන පනත විවාද කර සම්මත කරගැනීමටද පක්ෂ නායකයන් තීරණයකර තිබේ.