ගිනිඅවියක්, ජීවඋණ්ඩ තොගයක් සහ තවත් යුධ උපකරණ රැසක් පුඬළුඔය, කරගහගැටතැන්න ප්රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබියදී ඊයේ (03) සොයා ගත්බව පුඬළුඔය පොලීසිය පවසයි.
ටී. 56 ගිනිඅවිවලට භාවිතා කරනු ලබන ජීවඋණ්ඩ 31ක්, පිස්තෝල සඳහා භාවිතා කරනු ලබන ජීවඋණ්ඩ දෙකක් සහ හිස් කොපු හයක්, එම්. පී. එම්. ජී. වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන ජීවඋණ්ඩ දෙකක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, සන්නිවේදන උපකරණයක්, උල් පිහියක්, ඉලක්කයට වෙඩි තැබීමට භාවිතා කරනු ලබන මිනිස් අනුරුවක් සහ කේරළ ගංජා ග්රෑම් 13 ක් මෙම වැටලීමේදි පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම ගිනිඅවි සහ උපකරණ සමග මීට වසර හයකට පමණ ඉහතදී හමුදා සේවයෙන් ඉවත්වු හිටපු හමුදා සෙබලෙකු පොලීසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා උපකරණ තොගය අද (04) හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
ගිනිඅවිය සහ ජීව පතොරම් හා අනෙකුත් උපකරණ කුමන කටයුත්තක් සඳහා මෙසේ රහසිගතව සඟවා තිබුණේද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පොලීසිය විසින් ආරම්භ කොට ඇති බව පුඬළුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා කීය.
පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම වැටලීම පුඬළුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කොට ඇති අතර, සිද්ධිය පිළිබඳව පුඬළුඔය පොලීසිය පුළුල් පරීක්ෂණයක් සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ