ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන සදහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයියත් අරගෙන හැට නව ලක්ෂයක් ගත්තාට, ජනාධිපතිතුමාව පත් කර ගත්තාට නිසි සැලකිල්ල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට තියෙනවාද ? නැද්ද ? කියන එක පිළිබඳව අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගමේ දේශපාලනය කරන ඔබතුමන්ලාට දැනෙනවා ඇති අපි කරපු කැපකිරීමේ තරම ඒ අයට තේරිලා තියෙනවාද කියලා ඔබතුමන්ලාට අපිට වඩා හොදට දැනෙනවා ඇති.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආඩම්බර වෙන්න ඕන අපි ගත්ත තීන්දුව පිළිබඳව. මොකද අපිට පක්ෂයක් ලෙස තිබුණේ හොඳ අරමුණක්, අපිට තිබුණේ හොඳ බලාපොරොත්තුවක්. අපි තනතුරු වෙනුවෙන් නෙමෙයි වැඩ කලේ, රට හොඳ තැනකට, හරි තැනකට ගෙන එනවාද නැද්ද කියන එක පිළිබඳව තමයි එදා අපි කථා කලේ, අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මේ තියෙන ක්‍රමය වෙනස් කරලා, රටේ තියෙන අඩුපාඩුකම් ටික හදලා හැමෝටම සාමකාමීව, භයක් සැකක් නැතිව ජීවත් වෙන්න පුලුවන්, හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි උදව් පදව් කලේ.
ඒ ඇරෙන්න ඇමතිකම් බලාගෙන, කොන්ත්‍රාත් බලාගෙන නෙමෙයි අපි වැඩ කලේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වැඩ කරලා තියෙන්නේ පක්ෂයක් විදිහට රටක ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණු වෙනුවෙන්.”
එප්පාවල තිසර සමල්