විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විටක වසා දැමීමට කටයුතු නොකරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.
විවිධ සමාජ ජාල මඟින් මේ දිනවල කාර්යාංශය වසාදැමීමට ආසන්න බවට සාවද්‍ය කරුණු ඇතුළත් පුවත් පළ කළද ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කාර්යාංශය වසා දැමීමේ ස්ථාවරයක නොසිටින බවත් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ බස්නාහිර පළාත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමියන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.
විදේශ රැකියා ක්ෂේත්රය කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුබෑමකට පත්වීම හේතුවෙන් අපහසුතාවට පත් විදේශ රැකියා නියෝජිත ආයතනවල ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය සංවිධානය කර තිබිණි.
මෙහිදී විදේශ රැකියා නියෝජිතායතන හිමියන් විසින් යෝජනා 34ක් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, මූල්‍ය අපහසුතාවට පත් රැකියා නියෝජිතායතන පවත්වාගෙන යෑම සඳහා 4%ක පොළී යටතේ රජයෙන් ණය මුදල් ලබාගැනීමට වූ යෝජනාවක් ද ඊට ඇතුළත් වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවුල් පසුබිම් වාර්තාව ලබාදීම සඳහා එකිනෙකට වෙනස් නිර්ණායක භාවිත කරන බැවින් ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම බලපාන එකම නිර්නායක කාණ්ඩ ප්‍රකාශයට පත් කරන බවයි. එමඟින් විදේශ රැකියාලාභීන්ට මෙන් රැකියා නියෝජිතායතනවලටද පහසුවක් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ රැකියා සඳහා පිරිස් යොමු කිරීමේදී විවිධ ජාවාරම් සිදු වන අතර, සංචාරක වීසා මඟින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ ජාවාරමද ඉතාම ඉක්මනින් නතර කරන බවත්, ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරුමෙයිනායගම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුද එක් වූහ.