ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍ය පෙරමුණ නම් සංවිධානය විසින් අද සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය. පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීමට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා පාර්ලිමෙන්තුව අතර ගිවිසුමක් ඇතත් පසුගිය පාර්ලිමේන්තු සැසිවාර එය හරහා ප්‍රචාරය නොකළේය.
මේ පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමටත් කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා කටයුතු කළේය.