ඉදිරි මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග රජයක් බලයට පත්වූ විගස පළමු රාජකාරිය වශයෙන් ජනතාවට සහනයක් වන ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් නියම කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ ආකාරයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාවට සහන ලබා දුන් බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ස්ථාවරව පවත්වාගෙන ගිය බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ අද (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම බලධාරීන් විසින් උතුරු පළාතේ මේ වන විට කෝවිඩ් -19 වසංගතය සම්බන්ධයෙන් ජනතාව අතර බියක් ඇති කර ඇති බවත්, එය ඡන්දය දැමීම වැළැක්වීම ගන්නා උත්සාහයක් බවට විශ්වාස කරන බවත් පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
“දැන් මේ නීති රීති බැලුවම ඒ නීති හදලා තියෙන්නේ ඡන්දයක් තියන්න නෙවෙයි ඡන්දයක් නොතියන්න. මේ නීති රීතිවලට අනුව ඡන්දයක් පැවැත්වුවොත් 40%ක් වත් ඡන්දය දාන්නේ නෑ. ඒක තමයි ඇත්ත. මෙවර ඡන්ද පෝලිම කිලෝමීටරයකටත් වඩා දිගයි.
අනිත් කාරණය තමයි ඡන්ද රැස්වීමක් තියෙනවා නම් ඒකට පාක්ෂිකයන් 100ක් හෝ 500ක් ආවත් ඒ එන සියලුදෙනාගේ නම් ලබාගන්න කියලා දැනුම්දීලා තියෙනවා. මේ ගැන දේශපාලඥයන් සමග සාකච්ඡා කරන්න. අපි තමයි බිම් මට්ටමේ තිබෙන අපහසුකම් දන්නේ.
දැන් සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළා ඡන්දය තියන්න පුළුවන් කියලා. එහෙම කියල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියනවා 'කෝවිඩ් -19' වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා. මේ පරස්පරවිරෝධී ප්‍රකාශ නිසා ඇත්ත මොකක්ද කියලා හොයාගන්න බෑ.
මේ වන විට උතුරු පළාතේ 'කෝවිඩ් -19' වසංගතය ගැන බියක් හටගෙන තිබෙනවා. ඒ බිය ඇති කර තිබෙන්නේ බලධාරීන් විසින්. ඒකට හේතුව උතුරු පළාතේ ජනතාව ඡන්දය දැමීම වැළැක්වීම කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මැතිවරණයෙන් 113ක් මේ ආණ්ඩුවට ගන්න බෑ කියල මට විශ්වාසයි. ඒ නිසා ජනතාව තමන්ට තියෙන පීඩනයට උත්තරයක් දුන්නේ නැත්නම් මේ මැතිවරණයෙන් පස්සේ පීඩනය තවත් වැඩිවෙනව" යැයිද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
