ජර්මනියේ බයෝඑන්ටෙක් සහ එක්සත් ජනපදයේ ෆයිසර් යන සමාගම් එකතුව නිපදවා ඇති කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත මේ වනවිට 95%ක්ම ඵලදායීබව තහවුරු වන බව එම සමාගම් නිවේදනය කරයි.
මීට පෙර ඔවුන් කියා සිටියේ තම එන්නත 90%කට වඩා ඵලදායීතාවක් පෙන්නුම් කරන බවය. මේ තත්ත්වය සමග ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් විසින් එම එන්නත එක්සත් ජනපදය තුළ හදිසි භාවිතය සඳහා අවශ්‍ය ලිපිගොනු හෙට (20දා) බලධාරීන් වෙත යොමුකරන බව බයෝඑන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උහුර් සහින් පවසා සිටියේය.
ෆයිසර් සමාගම නිවේදනය කළේ ඔවුන්ගේ කොවිඩ්-19 එන්නත පිළිබඳ තුන්වැනි අදියර අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන පරදි, එය වැඩිහිටියන් තුළ පවා රෝගාබාධ වැළැක්වීමේ 95%ක ඵලදායීබවක් තහවුරු වී ඇති බවය. එමෙන්ම මෙම එන්නත මගින් බරපතළ ආරක්ෂිත ගැටලු කිසිවක් වාර්තා වී නොමැති බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙන්ම, ලොවපුරා බෝවන රෝග පිළිබඳ විශේෂඥයන් අවධාරණය කරන්නේ, එන්නත් පිළිබඳ පුවත් සතුටට කරුණක් වුවත්, ඒවායින් උදම්වීමට ගොස් නිසි සෞඛ්‍ය පුරුදු අත්හැර දමා, කිසිසේත්ම කටයුතු නොකරන ලෙසය. මන්දයත්, මෙවැනි එන්නතක් හදිසි භාවිතයට යම් ලෙසකින් අවසර ලබාදුන්නද, ලොවපුරා අස්සක් මුල්ලක් නෑර සෑම කෙනෙකුටම එවැනි එන්නතක් ලැබීමට විශාල කාලයක් ගතවීම හා වැඩපිළිවෙළක් අවශ්‍යවීම මෙන්ම, වසංගතය සම්පූර්ණයෙන් පාලනය කර කොවිඩ්-19 වසංගතයට පෙර පැවති ජීවිතයට යෑමට මෙවැනි එන්නතක් පමණක් ප්‍රමාණවත් නොවන නිසාය.
ඒ අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, සුදුසු මුඛ ආවරණයක් නිවැරදි ක්‍රමයට පැලඳීම සහ සබන් යොදා නිතර දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු මෙම කොවිඩ්-19 වෛරසයෙන් ඔබව දැනටමත් ආරක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කර තිබේ.