මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (16දා) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලීසියට ඉදිරිපත් කළේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ සාමාජික මධුමාධව අරවින්ද මහතා,
“වගකිවයුතු අමාත්‍යවරයෙකු වශයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ඉතා බරපතළ ප්‍රකාශයක් වගේම අපහාසාත්මක ප්‍රකාශයක් පසුගිය 13 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී සිදුකරනවා. එහිදී එතුමා සඳහන් කරනවා මේ මොහොතේ වැලිකඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් සිටින පිරිස නොවෙයි ලංකාවේ මුල්පෙළේ අපරාධකරුවන් කියලා.
ඒ වගේම එතුමා කියනවා මුල්පෙළේ ජාවාරම්කරුවන් සිටින්නේ කොහෙදැයි එතුමන් දන්නා බව. සිංහ සමාජයේ, රොටරි සමාජයේ, වගේම උපාසක මහත්වරුන් ලෙසින් පන්සල් ආශ්‍රිතවත් මෙම පළමු පෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන බව එතුමා කියනවා.
මේ මොහොතේ ජනාධිපතිවරයා ඇත්තට හෝ බොරුවට රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තැනට ප්රශ්නය ලොකු කර ගත් අවස්ථාවක, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රධාන පෙළේ පිරිස අමාත්‍යවරයා හොඳින්ම දන්නා නිසා අපි පොලීසියට ආරාධනා කළා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා ඒ මුල් පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා.
ඒ වගේම ලංකාවේ වැදගත් මිනිසුන් සිය සමාජ සේවා කටයුතුවල යෙදෙන සිංහ සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් රොටරි සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් ඔබට මේ අගෞරවය දැනුණේ නැද්ද? විශේෂයෙන්ම නොම්මර එකේ කුඩුකාරයන් ඉන්නේ සිංහ සමාජයේ කිව්වට පස්සේ මෙවැනි සංවිධානවල සාමාජික සාමාජිකාවන් කොහොමද සමාජයේ කටයුතු කරන්නේ. ඒ වගේම උපාසක මහත්වරුන් කටයුතු කරන්නේ පන්සලත් එක්ක. ඒ නිසා මේ එල්ලන්නට හදන්නේ පන්සලට යන මිනිස්සු නම් මේ එල්ලන්නට හදන්නේ සමාජයේ වැඩදායි මිනිසුන් නම් ඒ අපහාසයටත් එතුමා පිළිතුරු දීම අවශ්‍යයි. යැයි පැවසීය.
