මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරිය විසඳුම් දුන් බවත් ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට එයට හේතුවක් වූ බවද ඇය ප්‍රකාශ කළාය.
දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන් පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළීබදව සොයාබැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 20 ක පමණ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය (29) දින පැවැත්විණි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව ද වෘත්තීය සමිති නායකයින් පැවැසූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
නමුත් පසුගිය 01 දා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණෝ කොරෝනා මර්දන මෙහෙයුම් සදහා එක්ව සිටින සිය නිලධාරීන්ට මුහුණපෑමට සිදු වූවා යැයි පැවැසෙන කරුණු 04 ක් මුල්කරගෙන (අවම ආරක්ෂිත පහසුකම් නොසැපයීම, ක්ෂේත්‍ර රාජකාරී සදහා ප්‍රවාහන පහසුකම් නොසැපයීම, ආහාර ඇතුලු මුලික පහසුකම් නොසැපයීම, අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙළීම) අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 දින සිට එම කටයුතුවලින් ඉවත් වන බවයි.
පසුගිය 29 වැනි දින වෘත්තීය සමිති හමුවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් මුහුණ දී ඇති ගැටලු ප්‍රකාශ කරමින් කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා මුව ආවරණ, අත් සේදීම සදහා යොදා ගන්නා විෂබීජ නාශක, ආහාර පාන සහ මුලික ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් එම පහසුකම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඒ් මොහොතේම උපදෙස් ලබාදෙන ලදි.
ඒ අනුව එම කටයුතු නිසි පරිදි සුදානම් කරමින් සිටිය දී මෙවැනි අයුරින් හැසිරීම කණගාටුවට කරුණක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ පිළිබද දැඩි අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (02) කොළඹට කැදවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රාත්‍රී 8.00 පමණ විශේෂ සාකච්ඡාවක් කැදවා එම අවස්ථාවේම ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට කටයුතු කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තමා වෙත ලැබී තිබුණ පෞද්ගලික පරිත්‍යාගයක් වන දෑත් සේදීම සඳහා යොදා ගන්නා විෂබීජ නාශක බෝතල් 4000 ක් ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයට ලබාදීමට පියවර ගත් අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබිය දී සංගමය ගත් තීන්දු තීරණ ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් කණගාටුවට පත් වන බවත්, මහජන මතයක් ගොඩනැගීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය නැතිවීමට හේතුවූ බවයි.
