පැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන ගැන තමන් විමතියට පත් වූ බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන මංගල සමරවීර මහතා, මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පැවති පාලන සමයේ සිදු වූ ආකාරයේ මාධ්‍යවේදීන්ට පහර දීම්, අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් වැනි ක්‍රියාවන්ට යහපාලන රජය යටතේ යළි හිස එසවීමට ඉඩ නොතබන අතර යහපාලන රජය බලයට පත්වූයේද මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ පොරොන්දුව සමග බවත් හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම මෙලෙස මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් බාරගත යුතු බවත් හෙතෙම අවධාරණය කොට සිටියි.
වර්තමානයේ මාධ්‍ය නිදහසට ගරු කරන, සුරක්ෂිත කරන සහ මූලික අයිතිවාසිකම් තහවුරු කරන, සිවිල් නිදහසට ගරු කරන ආණ්ඩුවක් පවතින බවත් එබැවින් එම නිදහසට බාධා කරන කවුරුන් හෝ සිටියි නම් එය තරයේ හෙළා දකින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
