නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පළකළ මාධ්‍යවේදිනියන් දෙදෙනාට තමා හෝ තම පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක තර්ජනය නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත් සේවයේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් ඊයේ (03දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම මාධ්‍යවේදිනියන් දෙදෙනාට තර්ජනය කර ඇති බවයි.
මේ සඳහා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා ඉහත අදහස් දැක්වීය. එසේම එම මාධ්‍යවේදිනියන් දෙදෙනාට තර්ජනය කළ බවට සඳහන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් කරන ලෙසත් එය කවදා කොහේදී සිදූවුවක්දැයි යන්න සදහන් කරන ලෙසත් මන්ත්‍රීවරයා පවසා සිටියි.
මෙවැනි ආකාරයක අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් තමන්ට නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය හා ගැටලුවක් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජනමාධ්‍යවේදීන් දේශපාලකයන් විවේචනය කරන්නා සේම තමන් පිළිබඳව පළවන අසත්‍ය වාර්තා පිළිබඳව විවේචන එල්ල කිරීමට දේශපාලකයන්ටද අයිතියක් ඇති බවත්, නිව්යෝක් පුවත් සේවය මේ ආකාරයේ වැරදි ලිපි පළ කළේ පළමු අවස්ථාවට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.
