ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
අද (06දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. යෝජිත ගිවිසුමෙන් කොරිඩෝවක් හෝ ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු පැවැසීය.
මෙම ගිවිසුම ජනපතිවරණයට පෙර අත්සන් නොකරන බවත් පාර්ලිමේන්තුව අනුමත කළහොත් පමණක් ඉදිරියට යන බවත් ඔහු පැවැසීය.
2005 වසරේදී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාද මෙම මුදල ලබාගැනීම වෙනුවෙන් තමන් ඇමෙරිකාවට යොමුකළ නමුත් සුදු වෑන් හේතුවෙන් එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවැසීය.
මෙම ගිවිසුමේ කිසිම කොන්දේසියක් නොමැති බවත් මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.