ඉස්ලාමයට අපහාස කිරීම සහ LGBT ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට ඉඩ සලසන ෂරියා නීතිය සංශෝධනය කිරීමට මැලේසියානු රජයේ කාර්ය සාධක බලකායක් යෝජනා කර තිබේ.
මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්රජාවන්ගේ සැමරීම් සිදුවන වකවානුවේදී එරට සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් ෂරියා අපරාධ නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව මැලේසියානු ආගමික කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය අහමඩ් මර්සුක් ෂාරි කියා සිටියේය.
"LGBT ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් පාර්ශ්වයන් විසින් ඉස්ලාමයට අපහාස කරන තත්ත්වයන් සහ සමාජ මාධ්‍යවල එවැනි දේ උලුප්පා දක්වන තත්ත්වයක් අපට දැකගන්නට ලැබී තිබෙනවා." නියෝජ්‍ය අමාත්‍ය අහමඩ් පැවසීය.
මැලේසියාවේ ජනගහනය මිලියන 32ක් වන අතර, මැලේ ජනවාර්ගික ප්‍රජාව ජනගහනයෙන් 60%කට වඩා වැඩිය.
ඉස්ලාමයේ ආගමට අපහාස කරන සහ ජාල පහසුකම්, ජාල සේවා හෝ යෙදුම් සේවා භාවිත කරමින් වෙනත් ෂරියා සාපරාධී අපරාධ සිදුකරන ඕනෑම මුස්ලිම්වරයකුට එරෙහිව පියවර ගැනීමට බලාත්මක කිරීමේ ආයතනවලට යෝජිත නීති මගින් ඉඩ ලබාදෙන බව අහමඩ් පැවසීය.
එසේම LGBT ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් රජයේ කාර්ය සාධක බලකාය විසින් පියවර ගැනීමේදී නිලධාරීන් මුහුණදෙන බාධක හඳුනාගෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම කාර්ය සාධක බලකායට රටේ ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, සන්නිවේදන හා බහුමාධ්‍ය අමාත්‍යාංශය, නීතිපති කාර්යාලය සහ පොලීසියේ නියෝජිතයන් ඇතුළත් වේ. මෑත වසරවලදී මැලේසියාවේ LGBT ප්‍රජාව කෙරෙහි වර්ධනය වන නොඉවසීම පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් පාගමනකට LGBT ක්‍රියාකාරීන් සහභාගී වීමෙන් පසුව 2019 දී අමාත්‍යවරයකු සහ අනෙකුත් මුස්ලිම් කණ්ඩායම් විරෝධතා දැක්වූහ. එසේම එම වසර අවසානයේදී සමලිංගික ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් පුරුෂයන් පස් දෙනෙකුට සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන ලදී.